June 18, 2025

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායකවීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

එසේම, පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට ඔහු ලබාදුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය කෘතඥතාවද පිරිනැමීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළකළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ධුරයෙන් විශ්‍රාම යෑම වෙනුවෙන්, අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.

පුද්ගලයන්ගේ සැබෑ වටිනාකම් වෙනුවට, වෙනත් දේ වටිනාකම් බවට පත්ව ඇති මෙම යුගයේදී රටත්, සමාජයත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පුද්ගල වටිනාකම් පිළිබඳ නව හර පද්ධතියක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, අධිපරිභෝජනවාදී, දූෂණයෙන් අගතියට පත් රාජ්‍ය සේවයක් වෙනුවට මනුෂ්‍යත්වයෙන් සහ අනෙකා කෙරහි සංවේදී වෙමින් වගකීම් ඉටුකරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවද පැවසීය.

එසේම, රාජ්‍ය සේවය පුරවැසියන්ට ඉහළින් තිබෙන සහ ජනතාව සමග කිසිදු සබඳතාවක් නොමැති යාන්ත්‍රණයක් නොවිය යුතු සේම, තීන්දු තීරණ ගැනීමේදී සෑම විටම, එම තීන්දුවලින් ජන ජීවිතයට එල්ල විය හැකි බලපෑම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, අත්දැකීම් බහුල සහ ගැඹුරු අවබෝධයක් ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වූ මහින්ද සිරිවර්ධනගේ රාජකාරී ජීවිතයෙන් තරුණ රාජ්‍ය නිලධාරින්ට ලබාගත හැකි ආදර්ශ බොහෝ බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ මහින්ද සිරිවර්ධන සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ වසර 03ක සේවා කාලය තම වෘත්තීය ජීවිතයේ සුවිශේෂීම අවස්ථාව බවයි.

රටෙහි පාලනයේ වෙනසක් සිදු වුවද තමා කෙරෙහි විශ්වාසය තබමින් අඛණ්ඩව එම ධුරයේ රඳවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ හෙතෙම, තම ධුරයේ කටයුතුවලදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සහාය විශාල ශක්තියක් වූ බවද සඳහන් කළේය.

එසේම, ජනාධිපති අනුර කුමාර දිසානායක තුළ තිබූ විශ්වාසය, දරාගැනීම සහ අසීමිත කැපවීම නොවන්නට රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට නොහැකි වනු ඇති බවද මහින්ද සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ විශිෂ්ට සේවාව අගයමින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.