June 22, 2026

මහියංගණය – මාපාකඩ මාර්ගයේ දියබාන ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පාලනය කරගත නොහැකිව වියානා ඇළට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් එහි රියදුරු අතුරුදන්ව ඇති බව මහියංගණය පොලිසිය පවසයි.

ඊයේ (21) පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත.

ට්‍රැක්ටර් රථය මාපාකඩ දෙසට ධාවනය වෙමින් තිබියදී රියදුරුට එහි වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස වියානා ඇළට පෙරළී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුරත් සමඟ ට්‍රැක්ටර් රථය ඇළ දියට පෙරළී ඇති අතර, එහි රියදුරු දියේ ගිලී ගසාගෙන යන්නට ඇති බවට සැකකෙරේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මහියංගණය ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

අතුරුදන් වූ රියදුරු සෙවීම සඳහා පොලිසිය, ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාවේ සහාය ඇතිව විශේෂ සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

අනතුර සම්බන්ධයෙන් මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.