October 2, 2026

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික පුරවැසියකු වන සිවරාසන් අනෝජන් නිදහස් කර ගැනීම සඳහා රජයේ මැදිහත් වීම ලබාදෙන ලෙස රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහානිකායේ මහානායක හිමිවරුන් රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

ඒ අනුව අවශ්‍ය රාජ්‍ය මැදිහත් වීම ඉල්ලා සකස් කරන ලද සංදේශයක් සැප්තැම්බර් 30 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දී තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුළෑවේ විමලබුද්ධි මහනායක හිමිපාණන් සහ අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමිපාණන් විසින් නිකුත් කරන ලද මෙම සංදේශය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී බාර දී ඇත.

මෙම සංදේශය දකුණු ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන් විසින් බාර දී තිබේ.

මේ අතර, හින්දු ප්‍රජාව වෙනුවෙන් මැදිහත් වන ලෙස ඉල්ලමින් හින්දු පූජකයන්ගේ සංගමයේ සහ සමස්ත ලංකා හින්දු සංස්කෘතික මණ්ඩලයේ සභාපති ආචාර්ය ශිවශ්‍රී කේ. වී. කේ. වෛතීශ්වර කුරුක්කල් විසින් ද වෙනම සංදේශයක් ඉදිරිපත් කර ඇත.

මෙම අවස්ථාවට පූජ්‍ය පාගොඩ ජන්තවංශ හිමි, පූජ්‍ය වෙපතරම ධම්මසිරි හිමි, ශිවශ්‍රී කුගතස කුරුක්කල්, නීතිඥ තනූජා නවරත්න සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ආර්. ඒ. අමිල සංජීව සහභාගී වී තිබේ.