July 24, 2026

ඊයේ(24) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට ඊයේ (23) විශේෂ උපදෙසක් ලබාදුන්නේය. ඒ අනුව, චීන ජාතික සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී භාෂා පරිවර්තකයකුගේ සහාය සහිතව ඔවුන් ඉදිරිපත් කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස පොලිස්පතිවරයාට ලිපියක් යොමුකිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබේ.

නීතිවිරෝධී ලෙස විදේශීය දුම්වැටි 16ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් චීන ජාතිකයකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම තත්ත්වය උද්ගත විය. සැකකරුට චෝදනා කියවා දීමට සුදුසු භාෂා පරිවර්තකයකු පොලීසිය විසින් ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් අධිකරණ කටයුතුවලට බාධා එල්ල විය.

මෙහිදී පොලීසියෙන් දැඩි ලෙස කරුණු විමසා සිටි මහේස්ත්‍රාත්වරයා, “චීන ජාතිකයන් අත්අඩංගුවට ගෙන කැමති දෙයක් කරගන්න කියා අධිකරණයට ඉදිරිපත් කරනවාද?” යි ප්‍රශ්න කර සිටියේය. මෙවැනි අතපසුවීම් නිසා අධිකරණයේ කාලය අපතේ යන අතරම දැඩි අසීරුතාවන් නිර්මාණය වන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, අදාළ සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගත්තේ කුමන ආකාරයෙන්දැයි පොලීසියෙන් විමසා සිටියේය.

පසුව, අදාළ අවස්ථාවේදී විවෘත අධිකරණයේ සිටි වෙනත් චීන ජාතිකයකු භාෂා පරිවර්තනය සඳහා ඉදිරිපත් වූ අතර, අධිකරණයට සහාය වීම සඳහා වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි සහ නීතිඥ සුදර්ශනි ගුණරත්න ද ඉදිරිපත් වූහ.

දීර්ඝ වේලාවක් තිස්සේ චෝදනාව තේරුම් කර දීමෙන් අනතුරුව, සැකකරු අදාළ වරද පිළිගත් අතර, ඔහුට රුපියල් 2,000ක දඩයක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.