June 22, 2026

2026 ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිත සමාලෝචනය උපයෝගී කරගනිමින් මෙරට මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ සන්නද්ධ හා පුළුල් ඇගයීමක් සිදු කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක රජයෙන් ඉල්ලා සිටී.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ය.

එමගින් ඔහු ඉදිරිපත් කර ඇති ප්‍රධාන යෝජනා මෙසේය:

ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන උද්ධමන ඉලක්කය වත්මන් 5% සිට 2%-3% දක්වා වූ පරාසයකට පහත හෙළීම.

ප්‍රතිපත්තිමය විශ්වාසනීයත්වය සහ වගවීම ශක්තිමත් කිරීම සඳහා දැනට පවතින උද්ධමන විචල්‍යතා සීමාව තවත් පටු කිරීම.

විදේශ විනිමය සංචිත රැස් කිරීම, දේශීය ඉතුරුම් බලමුලු ගැන්වීම, ප්‍රාග්ධන සම්පාදනය, ඵලදායී ආයෝජන සහ අපනයන තරඟකාරිත්වය යන කරුණු, මුදල් ප්‍රතිපත්ති රාමුවේ පැහැදිලි අරමුණු ලෙස ඇතුළත් කරමින් එය තවදුරටත් පුළුල් කිරීම.

උද්ධමනය, සංචිත ගොඩනැඟීම, විනිමය අනුපාත ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් මහ බැංකුව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්තාකරණය තවදුරටත් ශක්තිමත් කිරීම.

ගෙවුම් ශේෂ අර්බුද හමුවේ ශ්‍රී ලංකාව ඓතිහාසිකව මුහුණ දී ඇති දුර්වලතාවන් පිළිබඳව වැඩි අවධානයක් මුදල් ප්‍රතිපත්ති රාමුව තුළටම අන්තර්ග්‍රහණය කිරීම.