March 6, 2026

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මදුෂංක ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ නමැත්තාට අයත් රුපියල් කෝටි 3ක් පමණ වටිනා පන්නිපිටියේ සුවිසල් නිවසක් සහිත ඉඩමක පරිහරණය අත්හිටුවා තිබේ.

ඒ, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකිනි.

පොඩි ලැසී නමැත්තාට එරෙහිව 2007 වසරේ සිට සිදුකළ විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු 26ක් මේ වන විට විභාග වෙමින් පවතියි.

ඒ අතරට, මනුෂ්‍ය ඝාතන සිද්ධි 5ක්, මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම හා බරපතල තුවාල සිදුකිරීම් සම්බන්ධ නඩු 13ක් මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධවලට සැලසුම් කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩු 8ක් ඇතුළත් ය.

2015 වසරේ දී රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමේ චෝදනාවකට අදාළව සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොඩි ලැසී 2024 දෙසැම්බර් 09 වැනිදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදාහැරේ.

අනතුරුව ඔහු මෙරටින් පළාගිය අතර, පසුව ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට රැගෙන ආවේය.