July 3, 2026

පාරේ ගමන් කිරීමේදී හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉයර්ෆෝන් (Earphones) පැළඳ සංගීතයට සවන් දෙමින් යන පදිකයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර ඇත.

දැනට මෙලෙස අනාරක්ෂිත ලෙස ගමන් කරන පදිකයන්ට අවවාද කිරීම් පමණක් සිදුකළ ද, අනතුරු ඉහළ යාම හමුවේ මෙම පියවර ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු මෙම තොරතුරු අනාවරණය කළේය. එහිදී හෙළි වූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ:

– ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු හේතුවෙන් දැනට දිනකට පුද්ගලයන් 10 දෙනෙකුට වඩා ජීවිතක්ෂයට පත්වේ.
– මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ සිදු වූ රථවාහන අනතුරු 1,323කින් පුද්ගලයන් 1,389 දෙනෙකු මියගොස් ඇත.
– 2025 වසරට සාපේක්ෂව මෙම වසරේදී අනතුරු සංඛ්‍යාව 105කින් සහ මරණ සංඛ්‍යාව 107කින් ඉහළ ගොස් තිබේ.
– මාර්ග අනතුරුවලින් වැඩිම බලපෑමක් එල්ල වන්නේ පදිකයන්ට සහ පාපැදිකරුවන්ටය.
– අනවධානය, අපරීක්ෂාකාරී බව, මාර්ග නීති උල්ලංඝනය කිරීම, අධික වේගය මෙන්ම වාහන සහ මාර්ගවල පවතින දුර්වල නඩත්තුව මේ සඳහා ඍජුවම බලපායි.

ජූලි 6 වැනිදා සිට 10 වැනිදා දක්වා යෙදෙන 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතියට සමගාමීව, පොලිස්පතිවරයාගේ උපදෙස් මත අනතුරු අවම කිරීමේ විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාවට නංවා ඇත.

අධික වේගයෙන් ධාවනය වන වාහන කොටුකර ගැනීම සඳහා කිලෝමීටර 3ක දුරක් ආවරණය කළ හැකි නවීන තාක්ෂණික වේගමාපක ඇමරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වා දැනටමත් භාවිතයට ගෙන තිබේ.

ඉදිරියේදී මාර්ග නීති කඩකරන්නන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් දීමටත්, රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමටත් පොලීසිය කටයුතු කරනු ඇත.

මීට අමතරව, පාසල් දරුවන් මාර්ග ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව Take Care නමින් විශේෂ වැඩසටහනක්ද මේ වන විට රට පුරා ආරම්භ කර ඇත.