April 7, 2024

මෙරට සිනමා කර්මාන්තය නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග පැවසීය.

එසේම සිනමා කර්මාන්තයේ සහ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් වූ සුදුසු යෝජනා මාලාවක් සකස් කර රජයට ලබා දෙන ලෙස ද හෙතෙම කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මේ බව සඳහන් කර සිටියේ මෙරට සිනමාව නවීන ලෝකයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීම සහ කේෂ්ත්‍රයට සම්බන්ධ ශිල්පීන්ගේ වෘත්තීය අනාගතය සුරක්ෂිත කිරීම සම්බන්ධව පසුගියදා (02) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී සිනමා කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් වන පද්මසිරි කොඩිකාර, රාජ් රණසිංහ, රංගන ශිල්පීන් වන අර්ජුන් කමලනාත්, වසන්ත කුමාරවිල, නදීකා ගුණසේකර ඇතුළු සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.