May 21, 2023

යුරෝපා සංගමය විසින් ලබදෙන GSP+ සහනය සඳහා අවශ්‍ය සුදුසුකම් ලැබීමට, ශ්‍රී ලංකාව සියලු රෙගුලාසි වලට අනුකූලව කටයුතු කර ඇති අතර, GSP+ සහන නව වටය ප්‍රකාශයට පත් කරන විට ඒවා නැවත ලබා ගැනීම විශ්වාස බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

“අපි දැන් හොඳ ස්ථානයක ඉන්නවා,” යැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකා කලාප පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර පසුගියදා යුරෝපා සංගමය (EU) සමඟ පැවැත්වූ පුළුල් සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් පවසයි.

යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා සංවාදයේ අවසන් වරට පැවැති 25 වැනි සැසිවාරයේදී, යුරෝපා සංගමය විසින් ඉදිරි වසර 10 සඳහා, 2024 ජනවාරි 01 වැනිදා සිට බලාත්මකවීමට අපේක්ෂිත නව GSP රෙගුලාසිය ද ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලංකාව මෙම සහන සඳහා නැවත අයදුම් කරන අතර ඉදිරි වසර දෙක තුළ මෙම ප්‍රතිලාභ දිගටම ලැබෙනු ඇත.

යුරෝපා සංගමය විසින් අවසන් සිය GSP+ හි සමාලෝචන වාර්තාව ලබන මාසය වන විට නිකුත් කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරයි.

මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සම්බන්ධ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අදාළ සම්මුතීන් 27 සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳ තක්සේරුවක් මෙම ලේඛනයේ අඩංගු වේ.

ඊට ප්‍රතිචාර වශයෙන්, යුරෝපා සංගමය ඔවුන්ගේ අපනයනවල තීරු බදු රේඛාවලින් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් මත සිය ආනයන බදු බිංදුවට කපා දමනු ඇත.

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පසුගියදා පැවති ඒකාබද්ධ කොමිෂන් සභා සංවාදයේදී ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, වෙළඳාම, සංවර්ධන සහයෝගීතාව, දේශගුණික විපර්යාස සහ පරිසරය, ආංශික සහයෝගිතාව, ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතාව සහ බහුපාර්ශ්වික වේදිකාවල සහයෝගිතාව සම්බන්ධ ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය වැඩි දියුණු කිරීම සඳහා වන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු බව මැයි 09 වැනිදා පැවති සාකච්ඡා අවසානයේ නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීමෙන් වළකින ලෙසද යුරෝපා සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

(sundaytimes)