October 2, 2026

කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පෞද්ගලික ජනමාධ්‍ය ආයතන දෙකකට දැඩි ලෙස චෝදනා කරමින් කියාසිටින්නේ, ජාතික මට්ටමේ ප්‍රතිපත්තිමය තීරණ නිවැරදිව වාර්තා කරනවාට වඩා රජයේ නියෝජිතයන් කරන ප්‍රකාශ විකෘත්‍රි කිරීම පිළිබඳව ඔවුන් හිතාමතාම අවධානය යොමුකරන බවයි.

මහජන හමුවකට එක්වෙමින් අමාත්‍ය ලාල්කාන්ත මෙම ජනමාධ්‍ය ආයතන දෙකෙහි හැසිරීම විවේචනය කළ අතර, ඔවුන්ගේ ප්‍රවේශය චණ්ඩිකම් කිරීමකට සමාන කරමින්, තමන්ගේ ප්‍රකාශ නැවත නැවතත් වැරදි ලෙස අර්ථකථනය කරන බවට චෝදනා කළේය.

ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා දැනට භාවිත වන ඉඩම් ප්‍රමාණය තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය නොවන බවට ඔහු මෑතකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙතින් එල්ල වූ විවේචනවලට පිළිතුරු වශයෙන් ඔහු මෙම අදහස් පළකළේය.

තමන්ගේ එම ස්ථාවරය විද්‍යාත්මක ඇගයීම් මත පදනම් වූවක් බවත්, එසේ තිබියදී අදාළ ජනමාධ්‍ය ආයතන දෙක තමාගේ ප්‍රකාශය සාධාරණ නොවන එකක් ලෙස නිරූපණය කරමින් තමාට, අමාත්‍යාංශ ලේකම්වරයාට සහ රජයට විවේචන එල්ල කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම ආයතනවලට කෘෂිකාර්මික අවශ්‍යතා සහ ජාතික මට්ටමේ ප්‍රමුඛතාවන් තේරුම් ගැනීමට වඩා අදහස් විකෘත්‍රි කිරීමට වැඩි උනන්දුවක් පවතින බවට ඔහු චෝදනා කළේය.

මෙම ජනමාධ්‍ය ආයතන දෙකෙහි වාර්තාකරණ පිළිවෙත පිළිබඳව මහජනතාව මේ වන විට වැඩි වැඩියෙන් දැනුවත් වී ඇති බව ප්‍රකාශ කළ ලාල්කාන්ත ඇමතිවරයා, ප්‍රේක්ෂකයන් විසින් එම ආයතන දකින ආකාරය පිළිබඳව ද දැඩි විවේචනාත්මක අදහස් පළකළේය.

වී වගාව සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය සාධාරණීකරණය කරමින් අමාත්‍යවරයා නැවතත් අවධාරණය කළේ, අලුතින් ඉඩම් වී වගාවට එකතු කිරීමට කිසිදු විද්‍යාත්මක අවශ්‍යතාවක් නොමැති බවයි. තමාගේ ප්‍රකාශය අමාත්‍යාංශ ලේකම්වරයාට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ වී අලෙවි මණ්ඩලයට තහවුරු කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට සහලින් ස්වයන්පෝෂිත බවත්, වෙනත් රටවලින් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

වගාකරන ඉඩම් ප්‍රමාණය වැඩි කිරීමට වඩා සහල් නිෂ්පාදනය සම්බන්ධයෙන් නව පියවරයන් කෙරෙහි අවධානය යොමුකිරීම තම දැනට පවතින අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.