February 11, 2026

කයිට්ස්හිදී වාහනය පරීක්ෂාව සඳහා නතර කරන ලෙස දුන් නියෝග නොසළකා හැරීම හේතුවෙන් පොලිසිය විසින් වෙඩි තැබූ වෑන් රථයේ රියදුරු වයස අවුරුදු 19ක තරුණයෙකු බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

මීට පෙර, වාර්තා වී තිබුණේ එම සිදුවීමේ දී 17 හැවිරිදි රියදුරා බරපතළ තුවාල ලබා යාපනය රෝහලේදී මිය ගිය බවයි.

කෙසේවෙතත්, කයිට්ස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් අල්ලපිඩ්ඩි හන්දිය අසල සැක සහිත වෑන් රථයක් නතර කරන ලෙස සංඥා කළ නමුත් වාහනය අණ නොතකා ඇති බව පොලිසිය පැහැදිලි කළේය.

පසුව පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් 19 හැවිරිදි අයෙකු තුවාල ලැබූ අතර ඔහු පසුව යාපනය රෝහලේදී මිය ගියේය.

නල්ලූර් හි චින්න නගර් හි වයස අවුරුදු 25ක් සහ සිතන්කර්නි හි වයස අවුරුදු 38ක් වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, ඔවුන් පෙබරවාරි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මියගිය සැකකරුගේ දේහය ඊයේ පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව ඥාතීන්ට භාර දෙන ලදී.

වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වූයේ අනෙක් සැකකරුවන්ගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවයි.

පසුපස ආසන ඉවත් කර තිබූ වෑන් රථය අධිකරණ වෛද්‍ය සහාය ඇතිව පරීක්ෂා කළ අතර, එහිදී ගංජා ග්‍රෑම් 17.5ක්, කඩුවක්, පිහියක්, ලණුවක් සහ සත්ව හමක් සොයා ගන්නා ලදී.

මෙම වාහනය කයිට්ස් හි ගව සොරකම් සහ අනෙකුත් අපරාධවලට සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.

යාපනය අපරාධ විමර්ශන අංශයේ සහාය ඇතිව සහකාර පොලිස් අධිකාරීවරයකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුවෙමින් පවතී.