September 23, 2025

රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ ගංජා විශාල තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ සැකකරුවකු සහ සැකකාරියක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ගුවන් තොටුපළේ ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ පිටවීමට උත්සාහ කිරීමේදී රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

29 හැවිරිදි කාන්තාව කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර 48 හැවිරිදි සැකකරු ඉන්දියාවේ චෙන්නායි හි පදිංචි පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබේ.

ඔවුන් දෙදෙනා තායිලන්තයේ බැංකොක් නුවරදී කුෂ් තොගය මිලදී ගෙන පසුව ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගොස් අද උදෑසන 6.50ට මෙරටට ළඟාවූ එයාර් ඉන්දියා ගුවන් යානයකින් කටුනායකට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

රේගු නිලධාරීන්ට අනුව, සැකකරුගේ සහ සැකකාරියගේ ගමන් මලු සහ බෑගයක් පරීක්ෂා කිරීමේදී වෙන් වෙන් වශයෙන් බෑග් පහක සඟවා තිබූ ‘කුෂ්’ කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් 92 ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට සැකකරු සහ සැකකාරිය මෙන්ම ඔවුන් සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඇත.