
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් කොක්කුතොඩුවායි සමූහ මිනීවළේ කැණීම් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මුලතිව් මහේස්ත්රාත්වරයා විසින් හෙට (13) දින අදාළ සියලු ආයතන කැඳවා ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මේ වන විට සමූහ මිනීවළේ කැණීම් කටයුතු නවතා ඇති නමුත්, සාකච්ඡාවලින් අනතුරුව කඩිනමින් එය ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව සඳහන් කරයි.
කොක්කුතොඩුවායි ප්‍රදේශයේ LTTE සාමාජිකයන්ගේ සමූහ මිනීවළක් යැයි කියනු ලබන කැණීම් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සිදුනොවන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් චෝදනා කර තිබේ.
මෙතෙක් කිසිදු කැණීමක් සිදුවී නොමැති බැවින් එම චෝදනා නිකරුණේ එල්ල කළ ඒවා බව සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව අදාළ බලධාරීන්ගේ සහාය ඇතිව කැණීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කර තිබේ.
මුලතිව් මහේස්ත්රාත්වරයා විසින් හෙට දිනයේ රැස්වීමට කැදවා ඇති ආයතන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළත් වන බව හෙතෙම පවසයි.
අදාළ සමූහ මිනීවළ සම්බන්ධ සිද්ධිය පිළිබඳව තමා නොදන්නා බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකින් තමාට දැනුම් දී නොමැති බවත්, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක සඳහන් කරයි.
පසුගිය ජූනි 29 වැනිදා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් විසින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටියදී මෙම ස්ථානයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගෙන තිබේ.
ඉන්පසු පොලිසිය විසින් එම ප්‍රදේශය ආවරණය කර, මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයට මෙම සොයාගැනීම පිළිබඳව දැනුම් දී ඇත.
ඒ අනුව, ජූලි 06 වැනිදා එහි කැණීම් ආරම්භ කරන ලෙස මහේස්ත්‍රාත් ටී. සරවනරාජා විසින් පොලිසියට නියෝග කළ අතර, එදින එම ස්ථානයට ඔහු පැමිණ තිබේ.
පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සහ යුද්ධයේදී අතුරුදන් වූවන්ගේ අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණ කරන සංවිධානයක සාමාජිකයන් පිරිසක් සහ විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart