November 23, 2026

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය චීන සංචාරය අතරතුර උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට දැඩි උත්සාහයක නිරත වුවද, උතුරු කොරියානු නායකයා ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

සුප්‍රකට ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත අනාවරණය කරන පරිදි, ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට කිසිදු උනන්දුවක් නොදක්වන කිම් ජොන් උන්, මේ වන විට සිය න්‍යෂ්ටික අවි ගබඩාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටී.

චීන සංචාරය ආරම්භ වීමටත් පෙර සිටම ට්‍රම්ප් විසින් කිම් ජොන් උන් හට දුරකථන ඇමතුම් ලබා දීමට උත්සාහ කර ඇතත්, උතුරු කොරියානු පාර්ශ්වයෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. එම උත්සාහය ව්‍යර්ථ වීමත් සමඟ, ජනාධිපති ට්‍රම්ප් විසින් කිම් වෙත යොමුකළ පෞද්ගලික ලිපියක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උතුරු කොරියානු කාර්යාලය හරහා භාර දීමට ධවල මන්දිර නිලධාරීන් පියවර ගෙන තිබේ. කෙසේවෙතත්, එහි සිටි උතුරු කොරියානු නිලධාරීන් එම ලිපිය භාරගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

සිය පළමු ධුර කාලය තුළ දකුණු කොරියාවේ සහ චීනයේ මැදිහත්වීමෙන් ට්‍රම්ප් සහ කිම් අතර ඓතිහාසික මුහුණට මුහුණ හමුවීම් කිහිපයක්ම සිදුවිය. උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම එම සාකච්ඡාවල මූලික අරමුණ වුවද, දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි විය.

වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පෙන්වා දෙන්නේ, වර්තමානය වන විට සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැරීමට හෝ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ යළිත් රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට කිම් ජොන් උන් තුළ කිසිදු අභිලාෂයක් නොමැති බවයි.