October 12, 2026

ගල්ගමුව ප්‍රදේශයේදී තුවාලයකට ප්‍රතිකාර ලබමින් සිටියදී තඹුත්තේගම ප්‍රදේශයට සංක්‍රමණය වූ ‘කාවන්තිස්ස’ ලෙස ජනප්‍රිය හස්තියා මේ වන විට අතීසාරයෙන් (පාචනයෙන්) පෙළෙමින් සිටින බව වාර්තා වේ.

අනුරාධපුර කලාපයේ වනජීවී සහකාර අධ්‍යක්ෂ චන්න සූරියවීර පවසා ඇත්තේ, මෙම හස්තියාට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී බරපතළ ලෙස රෝගාතුරව ගල්ගමුව ප්‍රදේශයේ ගැවසෙන අවස්ථාවේදී වනජීවී පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ආරම්භ කරන ලද බවයි.

සත්වයාගේ තත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් තිබියදී ප්‍රදේශයෙන් අතුරුදහන් වූ බවත්, අතුරුදහන් වූ අලියා සොයා ගිය වනජීවී නිලධාරීන්ට හස්තියා තඹුත්තේගම ප්‍රදේශයේ ගැවසෙනු සහ අතීසාරයෙන් පෙළෙනු දැකගත හැකි වූ බවත් ඔහු සඳහන් කර ඇත.

පශු වෛද්‍ය චන්දන ජයසිංහගේ අධීක්ෂණය යටතේ වනජීවී නිලධාරීන් විසින් අලියාගේ තුවාලයට මෙන්ම අතීසාරය සඳහාද අඛණ්ඩව ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.