November 17, 2026

විහාරස්ථානයක ඉදිකිරීමක් සිදු කිරීම සහ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සම්බන්ධ නඩුවකට අදාළව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බලංගොඩ කස්සප භික්ෂුව අද ඇප මත මුදා හැර තිබේ.

මීට පෙර පනවා තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සහ ත්‍රිකුණාමලය අධිකරණයට මෙන්ම අනුරාධපුරයේ විනිසුරුවරයකුට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශ සිදු කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් එම භික්ෂුව සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් සමාව අයැද සිටීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස එම භික්ෂුව මුදා හැරීමට නියෝග කර තිබේ.

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රය තුළ ඉදිකිරීමක් සිදු කිරීම සහ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් පැවැති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් බලංගොඩ කස්සප භික්ෂුව මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.