May 13, 2026

මේ වන විට මියගොස් සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා සහ ඔවුන් හඳුන්වා දුන් බව කියන පුද්ගලයා ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව අලුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් සහ එම ඇපකරුවන් හදුන්වා දුන් බව කියන ආරිය තිස්ස ද සිල්වා නමැති පුද්ගලයින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලීසිය සඳහන් කළේ පලමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාම නිලධාරිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි.

එම ප්‍රකාශය අනුව පලමු සැකකරු විසින් මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ග්‍රාමසේවා සහතික 10ක්ද දෙවන සැකකරු ග්‍රාමසේවා සහතික 7ක්ද ලබා ගෙන ඇති බවයි.

සැකකරුවන් දෙදෙනා මෙම ග්‍රාමසේවා සහතික පත්‍ර ලබාගෙන තිබෙන්නේ පදිංචිය සහතික කර බව ද පොලිසිය එහිදී පවසා ඇත.

ඒ අනුව පලමු හා දෙවන සැකකරු කාලයක් තිස්සේ මේ ආකාරයෙන් ඇප තැබීමේ කටයුතු සිදුකර ඇති අතර මොවුන් සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසුවේය.

මෙම සැකකරුවන් දෙදෙනා ඇප ලබා දීමට ඉදිරිපත් වූ කපිල චන්ද්‍රසේන නැමති සැකකරු මේ වනවට මියගොස් තිබෙන බවත්, එම මරණයට හේතු වූ කරුණු පිළිබඳව තවමත් තීන්දුවක් ලබාදී නොමැති බවත් සඳහන් කළ පොලිසිය මෙම සිද්ධියට අදාල විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම්වලට විරුද්ධ වන බව ද සඳහන් කළේය.

එම අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් සිදුකළ වරද සම්බන්ධයෙන් නිෂ්චිත වගන්තියක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බැවින් ඇප පනත යටතේ ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාවක් නොමැති බව පැවසුවේය.

එමෙන්ම එක් එක් සැකකරුට තිබෙන සාක්ෂි මොනවාදැයි දැක්වෙන සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් සැකකරුවන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමය නියෝග කළේය.