May 5, 2026

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.

ඔහු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.

සැකකරුට විදේශ ගමන් තහනමක් ද මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදී.

පසුගිය අප්‍රේල් 28 වැනිදා පැවති නඩු විභාගයේදී චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න විසින් ඇප අයදුම්පත ඉදිරිපත් කර තිබිණි.

අල්ලස් කොමිසම නියෝජනය කරන නිලධාරීන් එම ඉල්ලීමට විරුද්ධ විය.

දෙපාර්ශ්වයේම ඉදිරිපත් කිරීම් සළකා බැලීමෙන් පසු, මහේස්ත්‍රාත්වරයා අද උදෑසන ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.