June 1, 2026

‘සතර’ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා මෙන්ම සතර ප්‍රකාශන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයකු ද වූ ප්‍රවීණ අධ්‍යාපනඥ කේ.ඩී. චන්ද්‍රසෝම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 82 වැනි වියේ පසුවිය.

ඔහුගේ දේහය දැනට නුගේගොඩ, මෙල්ඩර් පෙදෙසේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු ජූනි මස 2 වැනි අඟහරුවාදා පස්වරු 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ ගණිත අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ කේ.ඩී. චන්ද්‍රසෝම පෙරේරා, ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බෙහෙවින් ආදරය දිනූ ප්‍රකට චරිතයකි.

ඔහු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ද ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස කටයුතු කර තිබේ.

කලා උපාධිධාරියකු වූ ඔහු, අධ්‍යාපන ඩිප්ලෝමාධාරියකු ද වන අතර, ගණිත විෂය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබූ ප්‍රවීණයෙකි.

1 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්වා සිසුන් වෙනුවෙන් අතිරේක කියවීම් පොත්, ප්‍රශ්න පත්‍ර සහ වැඩපොත් මුද්‍රණය කරනු ලබන ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ප්‍රකාශන ආයතනයක් වන්නේ ‘සතර’ ප්‍රකාශන ආයතනයයි.