July 13, 2026

‘ද පියානෝ’ සහ ‘ජුරාසික් පාර්ක්’ වැනි ලොව සුප්‍රකට සිනමාපට හරහා අතිශය ජනප්‍රියත්වයට පත්, ප්‍රවීණ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් වයස අවුරුදු 78ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ඥාතීන් විසින් ඊයේ (ජූලි 13 සදුදා) ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කර තිබිණි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අවසන් හුස්ම හෙළා ඇත.

2022 වසරේදී ඔහු තෙවැනි අදියරේ පවතින රුධිර පිළිකා තත්ත්වයකින් පෙළෙන බව හඳුනාගත් අතර, මෑතකදී ඔහු පිළිකාවෙන් සුවය ලබා සිටි බව වාර්තා විය. ඔහුගේ මෙම හදිසි මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

1947 දී උතුරු අයර්ලන්තයේ උපත ලැබූ ඔහු පසුව නවසීලන්තයට සංක්‍රමණය විය. නීති විද්‍යාව හැදෑරීමට ගොස් එය අසාර්ථක වීමෙන් පසුව ඔහු රංගන ක්ෂේත්‍රයට යොමුවිය. 1977 දී ‘Sleeping Dogs’ චිත්‍රපටයෙන් ක්ෂේත්‍රයට පිවිසි සෑම් නීල්, දශක පහක සිනමා ජීවිතය තුළ චිත්‍රපට සහ ටෙලි නිර්මාණ 150කට අධික සංඛ්‍යාවකට දායක වී ඇත. 1993 දී ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයේ ‘ඩොක්ටර් ඇලන් ග්‍රාන්ට්’ ලෙස ඔහු කළ රංගනය ඔහුව අන්තර්ජාතිකව ඉහළම තලයට ඔසවා තැබීය.

ඔහුගේ විශිෂ්ට රංගන දායකත්වය වෙනුවෙන් බ්‍රිතාන්‍ය සහ නවසීලන්ත රජයන් මඟින් ඔහුට නයිට් නාමය ඇතුළු සම්මාන රැසක් පුදකර තිබේ. සෑම් නීල් මියයන විට දරුවන් සිව්දෙනෙකු සහ මුණුබුරු මිණිබිරියන් හයදෙනෙකුගේ ආදරණීය පියෙකු සහ සීයා කෙනෙකු විය. ඔහුගේ අභාවය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඇතුළු ලෝකවාසී කලාකරුවෝ සහ රසිකයෝ රැසක් සිය කනගාටුව පළකර සිටිති.