June 8, 2026

පකිස්ථානයේදී මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

පාකිස්ථානයේ බලොචිස්ථාන ප්‍රාන්තයේ මුසාඛෙල් ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලිසිය පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වාර්තාකරුවෙකු ලෙස සේවය කළ මාධ්‍යවේදියෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

ඔහු මුසාඛෙල් නගරයේ පිහිටි සිය වෙළඳසැල අසල රැඳී සිටියදී, යතුරුපැදියකින් පැමිණි සන්නද්ධකරුවන් පිරිසක් ඔහුට වෙඩි තබා පළා ගොස් ඇති අතර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය තහවුරු කළේය.

ඔහුගේ සිරුර දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගිය අතර සිරුරේ වෙඩි වැදුණු තුවාල කිහිපයක්ම තිබූ බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය පවුලේ ඥාතීන්ට භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිනීමැරුම් නඩුවක් ද ලියාපදිංචි කර තිබේ.

මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෑතකදී තමාට කිසිදු තර්ජනයක් පැවති බවට එම මාධ්‍යවේදියා වාර්තා කර නොතිබූ බව පොලිසිය පවසයි.

එමෙන්ම, ඝාතනයේ වගකීම ද කිසිදු සංවිධානයක් විසින් මෙතෙක් භාරගෙන නොමැත.

බලොචිස්ථාන මාධ්‍යවේදීන්ගේ සංගමය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක ඇති අතර, මෙම බිහිසුණු ඝාතනය මාධ්‍ය ප්‍රජාව තුළ “දැඩි කනස්සල්ලක් සහ කැලඹීමක්” ඇති කිරීමට හේතු වී ඇති බව ප්‍රකාශ කළේය.