June 4, 2025

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තවත් දෙදෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව වැඩිදුර විභාගයට ගැනීම සඳහා ජූලි 07 වැනි දින කැඳවීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනුකර ඇති අතර, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ අද කැඳවන ලදී.

නඩු විභාගය අතරතුර, ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු සතොස සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස සේවය කළ මොහොමඩ් සාකීර් යන අය අද අධිකරණය හමුවේ පෙනීසිටියේය.

එහිදි, විත්තියේ නීතිඥයන් සතොස හි වැටුප් නිලධාරියකු ලෙස කටයුතු කළ මෙරින්නාගේ කොස්තාගෙන් හරස් ප්‍රශ්න අසන ලදි.

පසුව, නඩුව තවදුරටත් ජූලි 7 වැනි දින දක්වා කල්දැමූ විනිසුරු මඩුල්ල සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණයේ පෙනීසිටින ලෙස උපදෙස් දෙමින් සිතාසි නිකුත් කළහ.

2010 සහ 2014 අතර කාලය තුළ සමුපකාර හා වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අනෙකුත් විත්තිකරුවන් දෙදෙනා සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන්, දූෂණ නමැති වරදක් සිදුකළ බවට චෝදනා කරමින්, නීතිපතිවරයා විසින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ එමඟින් රජයට පාඩුවක් සිදුකිරීම නිසා මෙම නඩුව ගොනුකරන ලදී.