June 17, 2026

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක් පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සෝදිසි කර ඇති අතර, එහි තිබී කිසිදු සැකකටයුතු භාණ්ඩයක් හමු නොවූ බව පොලිසිය තහවුරු කර තිබේ.

මෙම හෝටල් පරිශ්‍රය තුළ ගිනිඅවි සඟවා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද සෝදිසි වරෙන්තුවක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන්, වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරිනියන් ද ඇතුළුව නිලධාරීන් 55 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම වැටලීමට එක්ව ඇත.

වාර්තාවන්ට අනුව, සිව්මහල් හෝටල් පරිශ්‍රය පුරා පැය හතරකට ආසන්න කාලයක් මෙම සෝදිසි මෙහෙයුම දියත් කර ඇති නමුත්, එහි තිබී කිසිදු ගිනිඅවියක් හෝ වෙනත් සැකකටයුතු ද්‍රව්‍යයක් සොයාගැනීමට නොහැකි වූ බව පොලිසිය පැවසීය.

මේ සම්බන්ධයෙන් පසුව හෝටල් කළමනාකරුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබේ.