May 19, 2025

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට වේගයෙන් පැතිර යන පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති බව හඳුනාගෙන තිබේ.

ඔහුගේ කාර්යාලය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පිළිකාව ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බවය.

82 හැවිරිදි බයිඩන් මුත්‍රා රෝග ලක්ෂණ අත්විඳීමෙන් පසු පසුගිය සිකුරාදා රෝගය හඳුනාගෙන තිබිණි.

ඔහු සහ ඔහුගේ පවුලේ අය වෛද්‍යවරුන් සමඟ ප්‍රතිකාර විකල්ප සමාලෝචනය කරමින් සිටින බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

ඔහුගේ පිළිකාව 4 වැනි අදියර පවතින බව හඳුනාගෙන ඇත.

බයිඩන්ගේ 2021-2025 ජනාධිපති ධුර කාලය තුළ ඔහුගේ ශාරීරික සෞඛ්‍යය සහ මානසික තීව්‍රතාවය පරීක්ෂාවට ලක් විය.

රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි විවාදයක් අතරතුර ඇති වූ තත්ත්වයක් මත සෙසු ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන් අතර භීතියක් ද ඇතිවිය.

ඉන් සති කිහිපයකට පසු, පසුගිය ජූලි මාසයේදී ඔහු නැවත තරග නොකරන බව නිවේදනය කළේය.

ජනවාරි මාසයේ බලයට පත්වීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් බයිඩන්ට බොහෝ අවස්ථාවල බැණ වැදුණුත ඊයේ ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි සටහනකින් බයිඩන් සහ ඔහුගේ බිරිඳ ජිල් කෙරෙහි අනුකම්පාව පළ කර තිබිණි.

“ජෝ බයිඩන්ගේ මෑත කාලීන රෝග විනිශ්චය ගැන අසා මෙලනියා සහ මම කණගාටුවට පත් වුණා. අපි ජිල් සහ පවුලේ අයට අපගේ සහාය පිරිනමන අතර, ජෝට ඉක්මන් හා සාර්ථක සුවයක් ප්‍රාර්ථනා කරමු,” යනුවෙන් ඔහු සඳහන් කර තිබිණි.

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවේ ආක්‍රමණශීලී බව තීරණය කිරීමට උපකාරී වන ග්ලීසන් ලකුණු ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයේදී බයිඩන්ගේ පිළිකාව 10න් 9ක් ලබා ගත් බව ඔහුගේ කාර්යාලය පැවසීය.

නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ මුත්‍රා විද්‍යාඥ වෛද්‍ය හර්බට් ලෙපර් පැවසුවේ ලකුණු 9ක් යනු ඉතා ඉහළ අවදානමක් බවයි.

නමුත් බොහෝ පිරිමින්ට මෙටාස්ටැටික් පුරස්ථි පිළිකා සමඟ පවා අවුරුදු පහේ සිට 10 දක්වා සහ ඊට වැඩි කාලයක් ජීවත් විය හැකි බව ඔහු සඳහන් කළේය.

මොළයේ පිළිකාවක් හේතුවෙන් 2015 දී බයිඩන්ට තම පුත්‍රයා වන බියු බයිඩන් අහිමි විය.

බයිඩන් විසින් 2022 දී, එනම් ඔබාමා යුගයේ දී පිළිකා වැඩසටහනක් නැවත ආරම්භ කළ අතර, ඉදිරි වසර 25 තුළ පිළිකා මරණ අනුපාතය අවම වශයෙන් 50%කින් අඩු කිරීම එහි අරමුණ වී තිබිණි.