February 21, 2026

ඔරංඔටන් සෙල්ලම් බඩුවක් සමග සුරතල් වන පන්ච් නමින් හඳුන්වන මාස හයක් වයසැති වඳුරු පැටවකු මේ වනවිට ලොව පුරා අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ.

මව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සත්වෝද්‍යාන බලධාරීන් විසින් ලබාදුන් ඔරංඔටන් සෙල්ලම් බඩුවකට තුරුල් වී සිටීමට සහ යන යන තැන එය ඇදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් වීමත් සමග ජපානයේ පමණක් නොව ලොවපුරා බොහෝ දෙනා සංවේදී වූ මෙම වඳුරු පැටවා නැරඹීමට මේ වන විට නරඹන්නන් විශාල වශයෙන් පැමිණෙන බව වාර්තා වේ.

ඇගේ පළමු පැටව් පැටවා වීම හෝ උණුසුම් කාලගුණය සමග මුහුණ දුන් තත්ත්වයන් නිසා පන්ච්ගේ මව පැටවා රැකබලා ගැනීමට උනන්දුවක් නොදැක්වූ බව ජපාන සත්වෝද්‍යාන බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

සාමාන්‍යයෙන් මෙම වඳුරු පැටවු ආරක්ෂිත බවක් දැනීමට සහ මාංශ පේශි ගොඩනැගීමට තම මව්වරුන්ට ඇලී සිටිති.

ඒ අනුව සත්වෝද්‍යාන බලධාරීන් ඒ සඳහා තුවායක් හෝ වෙනත් පුරවන ලද සෙල්ලම් බඩු වැනි විකල්ප සැපයුවද පන්ච් තෝරා ගෙන ලැබුවේ දිගු කකුල් සහිත ඔරංඔටන්වය.

“එය පන්ච්ට අල්ලා ගැනීම පහසු වුණා. සමහර විට එය වඳුරකු වගේ පෙනෙන නිසා කැමති වුණා වෙන්නත් පුළුවන් ” යනුවෙන් සත්වෝද්‍යාන පාලකයෙක් ජපාන ෆුජි ටීවී වෙත පැවසීය.

පන්ච් මුහුණ දුන් දුෂ්කරතාව අන්තර්ජාලය හරහා අනුකම්පාවක් ඇති කළ අතර, #HangInTherePunch යන හැෂ් ටැගය යටතේ වඳුරු පැටවා පිළිබඳ යාවත්කාලීන කිරීම් පළකිරීමට කැපවූ රසික පිරිසක් ද බිහිව තිබිණි.

පසුගිය ජූලි මාසයේ උපත ලැබීමෙන් පසු කෘත්‍රිම පරිසරයක ඇති දැඩි කරන ලද වඳුරු පැටවා, පසුගිය මාසයේ සිය කණ්ඩායමට නැවත එක්වීමට පුහුණුවීම් ආරම්භ කළේය.

පන්ච් කණ්ඩායමේ අනෙක් අය වෙත ළඟා වීමට උත්සාහ කරන විට, අමුත්තන් 100කට වැඩි පිරිසක් සත්වෝද්‍යානයේ වඳුරු කුටිය වටා රැස්ව, ඡායාරූප ගැනීමට වෙහෙසෙමින් සහ “Hang In There” යනුවෙන් කෑ ගැසූහ.

කෙසේවෙතත්, වැඩිහිටි වඳුරකු විසින් පන්ච් ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිසා ඇතැම් රසිකයෝ කණස්සල්ලට පත්ව සිටියහ.

සත්වෝද්‍යානය සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පන්ච් භට සෙසු වඳුරන් පිරිස කිසිදු බරපතළ ආක්‍රමණශීලී බවක් පෙන්නුම් කර නොමැති බැවින් සමාජගත වීමට පන්ච් දරන උත්සාහයන්ට සහාය දෙන ලෙස ඉල්ලා සිටි බවයි.

“පන්ච්ට වෙනත් වඳුරන් බැණ වැදුනත්, ඔහු මානසික ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව පෙන්වනවා,” යනුවෙන් අදාළ ප්‍රකාශයේ සඳහන් විය.