May 20, 2023

ශ්‍රී ලාංකික කාන්තාවක් ජපානයේදී මරණයට පත්වීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ එරට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ නවෝත්පාදන පක්ෂය(Japan’s Nippon Ishin) නියෝජනය කරන මිසුහෝ උමෙමුරා (Mizuho Umemura) නම් මන්ත්‍රීවරිය, පාර්ලිමේන්තු කාරක සභාවකින් නෙරපා හැර තිබේ.

එසේම ඇයගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පක්ෂ නිලධාරීන් සමාව අයැද සිටීමටද කටයුතු කර ඇත.

2021 මාර්තු මාසයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් වූ, 33 හැවිරිදි රත්නායක ලියනගේ විශ්මා සඳමාලි ආගමන මධ්‍යස්ථානයකදී මියයෑම සම්බන්ධයෙන් උමෙමුරා කළ ප්‍රකාශවලට එරෙහිව ජපානයේ විරෝධතා මතුව තිබේ.

නැගෝයා ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේදී විශ්මා සඳමාලි මිය ගියේ තමා අසනීපයෙන් සිටින බවත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවත් නිලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසුවය.

විශ්මාගේ කාමරයේ ආරක්ෂිත කැමරාවකින් ලබාගත් වීඩියෝ පටවලින් පෙනීයන්නේ ඇය නැවත නැවතත් ආගමන විගමන නිලධාරීන්ට තමාව රෝහලට ගෙන යන ලෙස ඉල්ලා සිටියත් පලක් නොවූ බවය.

විශ්මාට ආහාර ගැනීමේ හැකියාව පවා නොතිබුණු අතර, එක් වීඩියෝ පටයක පෙනෙන ආකාරයට ඇය නිලධාරීන්ට පවසන්නේ තමාට හැකි නම් තමා ආහාර ගන්නා බවයි.

එහෙත් උමේමුරා අවස්ථා තුනකදී ඉහළ මන්ත්‍රී මණ්ඩලයට පවසා සිටියේ, විෂ්මා ආහාර වර්ජනයක ප්‍රතිඵලයක් ලෙස මිය යන්නට ඇති බවත්, අසනීපයක් හේතුවෙන් මධ්‍යස්ථානයෙන් ඉක්මන් නිදහස්වීමේ බලාපොරොත්තුවෙන් ඇය එසේ කළ බවත්ය.

ඇයගේ ප්‍රකාශය ආන්දෝලනයක් ඇති කළ අතර, එය අනෙකුත් පාලක සහ විපක්ෂ නායකයන්ගේ විවේචනයට ලක්විය.

මේ අතර උමේමුරා පසුගිය අඟහරුවාදා අධිකරණ කටයුතු කමිටුව හමුවේ පිළිගනු ලැබුවේ, තම ප්‍රකාශ සාක්ෂි නොමැතිව හුදු ‘හිතලූ’ ලෙස පැවසූ බවයි.

ඒ අනුව බ්‍රහස්පතින්දා, Nippon Ishin පක්ෂයේ මහලේකම් Fumitake Fujita නිවේදනය කළේ පක්ෂය උමේමුරාට අධිකරණ කටයුතු කමිටුවෙන් ඉල්ලා අස්වීමට බල කර ඇති බවත්, ඇයට එරෙහිව වෙනත් විනය ක්‍රියාමාර්ගද ගන්නා බවත්ය.

2021 අගෝස්තු වාර්තාවකින් ආගමන නිලධාරීන් පිළිගත්තේ විශ්මාගේ තත්වය කෙතරම් බරපතලද යන්න පිළිබඳව නිලධාරීන්ට අවබෝධයක් නොතිබූ බවයි.

විශ්මාගේ පවුල ජපාන රජයට එරෙහිව නඩු පවරා ඇති අතර, වන්දි වශයෙන් යෙන් මිලියන 156ක් ඉල්ලා තිබේ.