June 4, 2026

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පීඩා විඳින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ අනාවරණය කරයි.

ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ජාසිංහ අනතුරු ඇඟවූයේ, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් පසුකාලීනව ස්ථුලතාවයට (අධික ලෙස මහත් වීමට) ගොදුරු වීමේ අවදානමක් පවතින බවයි.

වයස අවුරුදු පහට අඩු සහ වැඩි දරුවන් සම්බන්ධයෙන් මෑතකදී සිදුකළ සමීක්ෂණ දත්ත උපුටා දක්වමින් ඔහු කියාසිටියේ, දරුවන් අතර මිටි බව (stunting) 10.1% ක් සහ අඩු බර (underweight) තත්ත්වය 16.1% ක් ලෙස පවතින අතර, අධික බර (overweight) සහිත දරුවන්ගේ ප්‍රතිශතය 0.5% වැනි සාපේක්ෂව අඩු මට්ටමක පවතින බවයි.

“මෙම දත්තවලින් පෙනීයන්නේ අපේ රටේ දරුවන්ගෙන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පීඩා විඳින බව. මෙවැනි තත්ත්වයක් තුළ, කුඩා අවදියේදී මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්, ඔවුන්ගේ නව යොවුන් වියට හෝ වැඩිහිටි වියට පත්වන විට ස්ථුලතාවයට පත්වීමේ ප්‍රවණතාවක් තිබෙනවා,” යැයි ලේකම්වරයා පැවසීය.

වැඩිහිටියන් අතර ස්ථුලතාවය ඉහළ යෑම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකළ ලේකම්වරයා, දැනට කාන්තාවන්ගෙන් 47% ක් සහ පිරිමින්ගෙන් 30% ක් ස්ථුලතාවයෙන් පෙළෙන බවත්, ඉදිරියේදී මෙම අගයන් පිළිවෙළින් 15% සහ 6% වැනි මට්ටමකට වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.