April 21, 2026

මෙරට ආර්ථිකයේ බර අදිනු ලබන්නේ ආණ්ඩුව හෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදල නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

එම බර පැටවී ඇත්තේ, බදු ගෙවමින් රට පවත්වාගෙන යෑමට උරදෙන ජනතාව මත බවත් එමනිසා ශ්‍රී ලංකාවට පාලනය කළ නොහැකි අර්බුද හමුවේ රටේ ජනතාවට තවත් බර පැටවෙන ආකාරයේ තීරණ ගැනීමෙන් වැළකි සිටින ලෙස IMF වෙතින් ඉල්ලා සිටිය බවත් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

පසුගියදා මෙරටට පැමිණි IMF නිලධාරීන් සමග සිදුකළ සාකච්ජාවේදී මේ බව අවධාරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

“මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය නිසා වියදම් බරක් ඇතිවෙනවා. ඒක අපිට පාලනය කරන්න බැහැ. මහ බැංකුව කියනවා එතකොට අපී මේ තත්ත්වය නිවැරදි කරන්න ඕන කියලා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකට පොහොර දානවා.

”එහෙම වුනාම විදුලි බිල වැඩි කරනවා, ඉන්ධන මිල වැඩි කරනවා, ජීවන වියදම වැඩිවෙනවා වගේම පොලී අනුපාත ඉහළ දානවා.”

”මේ වගෙ තත්ත්වයකදී ජනතාවට සහනයක් දෙන්න අවශ්‍ය මොහොතක ඇයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කීයා ගෙනම ඉන්නේ විදුලි බිල වැඩි කරන්න, ඉන්ධන මිළ සංශෝධනය කරන්න, ජීවන වියදම වැඩි කරන්න කියලා. ජනතාවට මේ චෙලාවේ ඕන වෙන්නේ සහනයක්.” මන්ත්‍රීවරයා පැවසුවේය.