March 16, 2026

ඊශ්‍රායල හමුදාව ඉරානයට එරෙහි සිය මෙහෙයුම අවම වශයෙන් තවත් සති තුනක්වත් පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇති බවත්, තවමත් විනාශ කිරීමට ඉලක්ක දහස් ගණනක් ඉතිරිව ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කර තිබේ.

ඒ අනුව ඊශ්‍රායල ආරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් පවසා ඇත්තේ, ඔවුන් ඉදිරියේ තවත් ඉලක්ක දහස් ගණනක් තිබෙන බව සහ ඔවුන්ගේ ඇමරිකානු මිත්‍ර පාක්ෂිකයින් සමඟ සම්බන්ධීකරණයෙන්, අවම වශයෙන් මෙතැන් සිට සති තුනකින් යෙදෙන යුදෙව්වන්ගේ ‘පාස්ඕවර්’ (Passover) උත්සවය දක්වා එම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර තිබෙන බවයි.

එමෙන්ම ඉන් ඔබ්බට තවත් සති තුනක් සඳහා වඩාත් ගැඹුරු සැලසුම් ඊශ්‍රායල හමුදාව සතු බව ද ඔහු පවසා ඇත.

ඊශ්‍රායල ආරක්ෂක බලකායට අනුව, පෙබරවාරි 28 වන දින ඉරාන මෙහෙයුම ආරම්භ කළ දා සිට, ඊශ්‍රායල ගුවන් හමුදාව බටහිර සහ මධ්‍යම ඉරානයට එරෙහිව ප්‍රහාරක රැලි 400ක් පමණ දියත්කර ඇත.

එහිදී ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම් විනාශ කිරීම සහ ඉරාන ආරක්ෂක හා නිෂ්පාදන අංශවල ක්‍රියාකාරීන් ඉලක්ක කර තිබේ.

යුද්ධය ආරම්භ වූ දා සිට ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව මේ වන විටත් ඉලක්ක දහස් ගණනකට ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල නිලධාරීහු පවසති.

ඩෙෆ්රින් CNN වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායල ආරක්ෂක බලකාය කාලසටහනකට අනුව නොව, තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරන බවයි.

ඊශ්‍රායලයේ ප්‍රධාන අරමුණ ඉරාන පාලනය දැඩි ලෙස දුර්වල කිරීම බවද ඔහු පවසයි.