May 5, 2026

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ පුරවැසිභාවය පිළිබඳ ගැටළු මතු කරමින් ‘දිනන දකුණ’ සංවිධානය විසින් ප්‍රශ්න පහක් අඩංගු ලිපියක් ඉදිරිපත් කර තිබේ.

ලිපියේ, මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් ලේකම්වරයාගෙන් සෘජු සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිචාර අපේක්ෂා කරන බව එම සංවිධානය පවසයි.

ඒ අනුව, ඔවුන් පහත සඳහන් ප්‍රශ්නවලට පැහැදිලි සහ සනාථ කළ පිළිතුරු ඉල්ලා ඇත.

ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගත් නිශ්චිත දිනය

ඔහු පුරවැසිභාවය අත්හැරියාද?, එසේනම් අත්හැරීමේ නිශ්චිත දිනය

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමෙන් පසු අදාළ නීතිමය විධිවිධාන යටතේ ඔහු ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගත් දිනය

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ ඔහු නිල වශයෙන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරියාද, නැතහොත් එම අවස්ථාවේ ඔහු අත්හැරීම සඳහා අයදුම්පතක් පමණක් ඉදිරිපත් කර තිබුණේ ද ?

දැනට ප්‍රසිද්ධියේ සංසරණය වන 2010.02.03 දිනැති C19090060828 අංකය ඔහුගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයට සම්බන්ධද නැතහොත් නොමඟ යවන තොරතුරක් ද?

‘දිනන දකුණ’ සංවිධානය සිය ලිපියෙන් විනිවිදභාවයේ අවශ්‍යතාව ද අවධාරණය කරන අතර සාක්ෂි මගින් සනාථ කෙරෙන කඩිනම් පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.