July 27, 2026

දිට්වා ආපදාවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ඉන්දියාව ප්‍රකාශයට පත් කළ මූල්‍ය පැකේජයේ ඇතැම් අංශවල ප්‍රගතිය ඉතා මන්දගාමී බව වාර්තා වේ.

මෙම පැකේජයේ විශාල කොටසක් ආපදාවෙන් නිවාස අහිමි වූවන් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට වෙන්කර තිබුණද ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු හෝ සිදුව නැතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ ප්‍රතිලාභීන් හඳුනානොගැනීම, ප්‍රතිලාභින්ගේ අවශ්‍යතා තක්සේරු නොකිරීම, නව නිවාස සඳහා සුදුසු ඉඩම් හඳුනානොගැනීම වැනි හේතු මත නිවාස ව්‍යාපෘතිය අවාසනාවන්ත ලෙස ප්‍රමාද වී ඇති බවය.

ඉන්දියාව ප්‍රකාශයට පත්කළ දිට්වා සහන පැකේජයේ ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ සම්බධීකරණ කමිටුවක් පත්කර ඇති අතර ඇතිව තිබෙන ප්‍රමාදයන් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා එම කමිටුව ලබන සතියේ රැස් කරන ලෙස ඉන්දීය පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

අමාත්‍ය අනිල් ජයන්ත සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා එම කමිටුවේ ප්‍රධානත්වය දරති.

මෙම පැකේජයට ඇතුළත් ඩොලර් මිලියන 100ක ප්‍රදාන යටතේ බේලි පාලම් 7ක් ස්ථාපිත කර අවසන්ය.

තවත් බේලි පාලම් තොගයක් ඉන්දීය ගුවන් හමුදාවේ යානයකින් ඊයේ මෙරටට රැගෙන එනු ලැබීය.

එමෙන්ම හානි වී තිබූ උතුර සහ තලෛමන්නාරම දුම්රිය මාර්ග සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර අවසන් කර තිබේ.

දිට්වා ආපදාව හේතුවෙන් විනාශ වූ පාලම් 13ක් ඉන්දීය ප්‍රදාන යටතේ ස්ථිරවම ⁣ගොඩනැගීමේ කටයුතු ද නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතව ඇත.