April 23, 2026

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRIS Dena වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇති වූ දැඩි ආතතීන් සහ එහා සම්බන්ධ තවත් කරුණු සම්බන්ධයෙන් ඉරාන සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරු බදාදා (22) දුරකථන සංවාදයක් පවත්වා ඇත.

දුරකථන ඇමතුම අතරතුර, ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය සෙයිඩ් අබ්බාස් අරග්චි, නාවිකයින් බේරාගැනීමට සහ සිද්ධියෙන් මියගිය ඉරාන නාවික නිලධාරීන්ගේ දේහයන් සිය රටට ලබාදීමට පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාව දැක්වූ සහාය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත්ට කෘතඥතාව පළකර ඇත.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ ප්‍රකාශයකට අනුව, IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය හෙළාදැක ඇති ආචාර්ය අරග්චි, එය එක්සත් ජනපදය විසින් සිදුකරන ලද “පෙර නොවූ විරූ යුද අපරාධයක්” ලෙස සඳහන් කර තිබේ.

එම ප්‍රහාරය, අන්තර්ජාතික මානුෂීය නීතිය සහ 1949 ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස ඔහු පවසා ඇති අතර, ඉරානය කිසිදා එය අමතක නොකරන තවදුරටත් අවධාරණය කර තිබේ.

ඊට වගකිවයුතු අපරාධකරුවන්ට එරෙහිව ඉරානය සියලු නීතිමය සහ දේශපාලනික ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට ඔහු ප්‍රතිඥා දී තිබේ.

කලාපීය හා අන්තර්ජාතික අභියෝග හමුවේ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින්, ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ ක්‍රම පිළිබඳව ද අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී සාකච්ඡා කර ඇත.