March 14, 2026

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානයෙන් තමන් බැහැර කිරීමට කිසිවකුට බලයක් නොමැති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

තම ආරක්ෂාව සඳහා තරඟාවලියෙන් ඈත්ව සිටින ලෙස ඉරාන කණ්ඩායමට එක්සත් ජනපද ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමෙන් පසුව කණ්ඩායමේ මෙම ප්‍රකාශය නිකුත් විය.

තරඟකාරී කණ්ඩායම්වල ආරක්ෂාව සහතික කළ නොහැකි සත්කාරක රටක එම ගෞරවනීය තත්ත්වය නොදිය යුතු බවට ටෙහෙරානයේ පාපන්දු ක්‍රීඩකයන් තර්ක කර තිබේ.

කණ්ඩායමේ නිල ප්‍රකාශයෙන් අවධාරණය කළේ ලෝක කුසලානය කිසිදු තනි රටකට වඩා FIFA විසින් සංවිධාන කරන ලද ඓතිහාසික ගෝලීය තරඟයක් බවයි.

අදාළ ප්‍රකාශයේ “ලෝක කුසලානය ඓතිහාසික හා අන්තර්ජාතික ඉසව්වක් වන අතර එහි පාලක මණ්ඩලය FIFA මිස කිසිදු තනි රටක් නොවේ.
ඉරානයේ නිර්භීත පුත්‍රයන් විසින් අත්පත් කරගත් ශක්තිය සහ තීරණාත්මක ජයග්‍රහණ මාලාවක් සහිත ඉරාන ජාතික කණ්ඩායම, මෙම ප්‍රධාන තරඟාවලියට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම් අතර විය. නිසැකවම කිසිවකුට ඉරාන ජාතික කණ්ඩායම ලෝක කුසලානයෙන් බැහැර කළ නොහැක.
බැහැර කළ හැකි එකම රට වන්නේ ‘සත්කාරක’ යන පදවිය පමණක් දරන එහෙත් මෙම ගෝලීය ඉසව්වට සහභාගී වන කණ්ඩායම් සඳහා ආරක්ෂාව සැපයීමේ හැකියාවක් නොමැති රටයි” යනුවෙන් සඳහන් විය.

ට්‍රම්ප් මීට පෙර Truth Social හි පළ කර තිබුණේ ඉරානයේ ජාතික කණ්ඩායම ලෝක කුසලානයට සාදරයෙන් පිළිගනු ලැබුවද, ඔවුන්ගේ පැමිණීම සුදුසු යැයි ඔහු විශ්වාස නොකරන බවයි.

“ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයට සාදරයෙන් පිළිගනිමු, නමුත් ඔවුන්ගේම ජීවිතය සහ ආරක්ෂාව සඳහා ඔවුන් එහි සිටීම සුදුසු යැයි මම විශ්වාස නොකරමි.” යුවෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.

ඔහුගේ එම අදහස් පළ කිරීම සිදුවන්නේ ඉරානයට එල්ල වූ එක්සත් ජනපද-ඊශ්‍රායල් ඒකාබද්ධ මිසයිල ප්‍රහාරයෙන් අයතුල්ලා අලි කමේනි මිය ගිය පසුබිමකය.

එමඟින් එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව පුරා පැවැත්වෙන තරඟාවලියට පෙර වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ආතතීන් නැවතත් උත්සන්න විය.

ඉරානයේ ක්‍රීඩා අමාත්‍ය අහමඩ් ඩොන්යමාලි මීට පෙර සඳහන් කර තිබුණේ ඔවුන්ගේ උත්තරීතර නායකයාගේ ඝාතනයෙන් පසු ඇති විය හැකි තත්ත්වයන් උපුටා දක්වමින් කණ්ඩායම තරඟයට නොයන බවයි.

“මෙම දූෂිත රජය අපගේ නායකයා ඝාතනය කළ නිසා, අපට ලෝක කුසලානයට සහභාගී විය හැකි තත්ත්වයක් නැහැ. මාස අටක් හෝ නවයක් ඇතුළත යුද්ධ දෙකක් අප මත බලහත්කාරයෙන් පටවා තිබෙනවා. අපගේ දහස් ගණනක් ජනතාව මරා දමනු ලැබුවා. එබැවින්, අපට මේ ආකාරයෙන් සහභාගී වීමට කිසිදු හැකියාවක් නැහැ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබිණි.

ඉරාන ක්‍රීඩකයන් සැබෑ අනතුරකට මුහුණ දී ඇති බව ඩොනියමාලි අවධාරණය කරමින්, “අපේ ළමයින් ආරක්ෂිත නැහැ, සහභාගීත්වය සඳහා සුදුසු තත්ත්වයක් නැහැ” යනුවෙන් ප්‍රකාශ කළේය.

ලබන ජූනි 11 වැනිදා ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ආරම්භ වන අතර ජූලි 19 වැනිදා අවසන් තරඟය පැවැත්වීමට නියමිතය.

බෙල්ජියම, ඊජිප්තුව සහ නවසීලන්තය සමඟින් ඉරානය G කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර, නවසීලන්තයට එරෙහිව ඔවුන්ගේ ආරම්භක තරඟය ජුනි 16 වැනිදා පැවැත්වීමට නියමිතය.

කෙසේවෙතත්, ඉරානය අවසානයේ තරඟයෙන් ඉවත් වුවහොත් ආදේශක ජාතියක් සොයා ගැනීමට සංවිධායකයන් සැළකිව යුතු හිසරදයකට මුහුණ දෙනු ඇත.

තරඟාවලිය සඳහා මුල්ම සුදුසුකම් ලැබූවන් අතර ඉරාන කණ්ඩායම සිටි අතර, සුදුසුකම් ලැබීමේ වටය අතරතුර ආකර්ෂණීය ජයග්‍රහණ මාලාවක් හරහා ඔවුන්ගේ ස්ථානය ඉරානය තහවුරු කර ගත්තේය.