July 27, 2026

එක්සත් ජනපදය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර තාවකාලිකව අත්හිටුවා තිබුණද, සෙනසුරාදා සහ ඉරිදා දිනවල සිදු වූ නවතම සිදුවීම් සමඟ ඉරාන යුද ගිනිදැල් තවත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා අනුව යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ පිහිටි සෞදි අරාබිය තෙල් නිපදවන ස්ථාන වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර, කැස්පියන් මුහුදේ තිබූ සිය නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය විසින් යුක්‍රේනයට චෝදනා කර ඇත.

ඉරානයට එරෙහිව පනවා ඇති නාවික අවහිරය තවදුරටත් ක්‍රියාත්මක වන බව එක්සත් ජනපද හමුදාව සෙනසුරාදා ප්‍රකාශ කළද, දින 13 ක් පුරා පවත්වාගෙන ආ දැවැන්ත ගුවන් ප්‍රහාර හදිසියේම අත්හිටුවීමට හේතුව නිල වශයෙන් පැහැදිලි කර නොමැත.

ඇමරිකානු ප්‍රහාරවලට පිළිතුරු ලෙස ඉරානය විසින් අසල්වැසි රටවලට එල්ල කළ ප්‍රතිප්‍රහාර ද සති අන්තයේ වාර්තා වී නොමැත.

මෙම තාවකාලික නැවැත්වීම පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, “ජනාධිපති ට්‍රම්ප් සෑම විටම මුල් තැන දෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික විසඳුම්වලට බව පැහැදිලි කර තිබෙනවා. නමුත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් සිදුවන දේ පිළිබඳව ද ඔහු ඉරානයට පෙන්වා දී තිබෙනවා,” යනුවෙනි.

ඉරානයට එරෙහි ප්‍රහාර තවදුරටත් වැඩි කිරීමට තිබූ සැලසුම්වලින් පසුබැසීමට ජනාධිපති ට්‍රම්ප් දැනට තීරණය කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සෙනසුරාදා වාර්තා කළේය.

යුද්ධය තවදුරටත් පුළුල් වීම, ඇමරිකානු ආරක්ෂක අවි ආයුධ තොග ක්ෂය වීම, මැදපෙරදිග ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල් අමනාප වීම මෙන්ම ලෝක බලශක්ති සැපයුමට සහ ගෝලීය ආර්ථිකයට එල්ල වන බලපෑම් පිළිබඳව ජනාධිපතිවරයා සහ ඔහුගේ උපදේශකයින් සැලකිලිමත් වී ඇති බව එම පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙයි.

සිකුරාදා ධවල මන්දිරයේ පැවැති හමුවකදී, උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් විසින් ඇමරිකානු අවි ආයුධ සංචිත අඩුවීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් දැනුවත් කළ බව එක්සත් ජනපද නිලධාරියෙකු CNN පුවත් සේවයට තහවුරු කර ඇත.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ගයක් සඳහන් කළේ හමුදා මෙහෙයුම් දැනට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ගල්ෆ් කලාපයේ ප්‍රහාර මඳකට නතර වී තිබුණ ද, ඉරානයේ හිතවාදී හූති කැරලිකරුවන් සහ සෞදි අරාබිය අතර පැවැති ගැටුම් පෙන්නුම් කරන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන බලශක්ති සැපයුමට දැනටමත් බාධා කර ඇති මෙම යුද්ධය, දෙවන ප්‍රධාන නාවික වෙළඳ මාර්ගයට ද බලපෑම් කරමින් යේමන සිවිල් යුද්ධය නැවත ඇවිළවීමට හේතු විය හැකි බවයි.