October 9, 2026

සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය යන රටවල් එකතුවී අත්සන් කරන ලද ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම බලගැන්වීමත් සමඟ, ඒ පිළිබඳව සිය දැඩි විරෝධය සහ විවේචනය පළ කිරීමට ඉරානය පියවර ගෙන තිබේ.

යේමන අර්බුදයට මැදිහත් වීමෙන් වළකින ලෙස අදාළ රටවලට අනතුරු අඟවන ඉරානය, ටෙහෙරානය සහ වොෂින්ටනය අතර මැදිහත්කරුවකු ලෙස පාකිස්තානය ඉටුකරන භූමිකාව පිළිබඳවද ප්‍රශ්න කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞදි අරාබියේ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් හූති කැරලිකරුවන් එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර වැඩිවීමත් සමඟ, ඉකුත් ඔක්තෝබර් 5 වැනිදා සිට මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුම නිල වශයෙන් ක්‍රියාත්මක විය. ඒ අනුව සෞදියට අවශ්‍ය ආරක්ෂක සහාය ලබාදීමට පියවර ගෙන ඇති බව තුර්කිය සහ පාකිස්තානය තහවුරු කර ඇත.

නව එකඟතාවන්ට අනුව, සෞදි අරාබියේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පාකිස්තාන සහ තුර්කි සන්නද්ධ බලකායන් විසින් හමුදාමය, තාක්ෂණික සහ බුද්ධි තොරතුරු සහාය ලබා දීමට නියමිතය. කෙසේ වෙතත්, එම හමුදා යේමනය තුළ සෘජු ප්‍රහාරාත්මක මෙහෙයුම් සඳහා යොදා නොගන්නා බව නිලධාරීහු පවසති.

සෞදියේ ආරක්ෂාව සඳහා පාකිස්තාන සෙබළුන් දසදහස් ගණනක් යෙදවීමට සූදානම් වන බවට පැතිර යන වාර්තා ගැන අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි පැවසුවේ, “අපටත් මෙම ආරංචිය ලැබුණා. අප බලාපොරොත්තු වන්නේ එය අසත්‍යයක් වනු ඇති බවයි,” යනුවෙනි.

යේමන අර්බුදයට කෙරෙන ඕනෑම හමුදාමය මැදිහත්වීමකින් මුළු කලාපයටම බරපතල අනිටු ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව පෙන්වා දුන් ඔහු, මෙම ආරක්ෂක සම්මුතිය මුස්ලිම් ප්‍රජාවේ යහපතට හෝ නාමයට එරෙහිව භාවිත නොවනු ඇතැයි අපේක්ෂා කරන බවද වැඩිදුරටත් පැවසීය.

පසුගිය අගෝස්තු මාසයේදී අත්සන් තබන ලද මෙම එකඟතාවට අනුව, සෞදිය, තුර්කිය හෝ පාකිස්තානය යන රටවල් තුනෙන් ඕනෑම එකකට එල්ල වන ප්‍රහාරයක් රටවල් තුනටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබේ.