July 27, 2026

එක්සත් ජනපදය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර නවතා දමන්නේ නම්, ඉරානය ද සිය ප්‍රහාරාත්මක මෙහෙයුම් අත්හිටුවීමට සූදානම් බව ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයින් විසින් එල්ල කිරීමට ඇති ඉලක්ක අවසන් වෙමින් පවතින බවත්, ඇමරිකානු අවි ආයුධ තොග ක්ෂය වීම පිළිබඳව කනස්සල්ල පළ කිරීමත් සමඟ එක්සත් ජනපදය සිය බෝම්බ හෙලීමේ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව මෙම වර්ධනය සිදුවිය.

ඉරානයට එල්ල වූ දින 13 ක දැඩි ඇමරිකානු ගුවන් ප්‍රහාර මාලාවකින් පසු, පෙන්ටගනය සිකුරාදා සවස සිය ප්‍රහාරාත්මක මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගත් අතර, සෙනසුරාදා හෝ ඉරිදා යන දිනවල කිසිදු ඇමරිකානු ප්‍රහාරයක් වාර්තා වී නොමැත.

ඇමරිකානු ප්‍රහාර එල්ල වන සෑම රාත්‍රියකම, ඇමරිකානු හමුදා කඳවුරු පවතින අසල්වැසි රටවලට ප්‍රතිප්‍රහාර එල්ල කළ ඉරානය ද මේ වන විට දින දෙකක් තිස්සේ සිය ප්‍රහාර අත්හිටුවා ඇත.

නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ ඉරාන නිලධාරියා සඳහන් කළේ, ටෙහෙරානයේ ස්ථාවරය තවදුරටත් ‘ප්‍රහාරයකට ප්‍රහාරයක්’ යන්න බවයි.

“ප්‍රහාර නවත්වන්නේ නම්, ඉරානය ද සිය මෙහෙයුම් අත්හිටුවනු ඇති. මෙම පණිවුඩය එක්සත් ජනපදය වෙත යොමු කර තිඛෙනවා,” යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා වැඩි ඉඩක් ලබා දීමේ අරමුණින් ප්‍රහාර තාවකාලිකව නැවැත්වීමට ජනාධිපති ට්‍රම්ප් තීරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපති මයික් වෝල්ට්ස් “ෆොක්ස් නිව්ස් සන්ඩේ” ඇතුළු ඇමරිකානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

වැඩිදුර තොරතුරු අනාවරණය නොකරමින් වෝල්ට්ස් කියා සිටියේ, “ඔහු සාකච්ඡා සඳහා යම් ඉඩක් සහ කාලයක් ලබා දෙමින් සිටිනවා,” යනුවෙනි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා පසුගිය සති දෙක තුළ එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හේතුවෙන්, පූර්වයෙන් හඳුනාගත් ඉලක්ක බොහොමයක් මුළුමනින්ම පාහේ විනාශ වී ඇති බව එක්සත් ජනපද හමුදා නිලධාරීන් පසුගිය දිනවල පෙන්වා දී තිබේ.