October 4, 2026

පසුගිය ආණ්ඩු සමයේ කැබිනට් අනුමැතිය ඇතිව මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ, කොළඹ 7 ප්‍රදේශයේ සිදු වූ සැකකටයුතු ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම ඉඩම මිලදී ගැනීම සඳහා පුද්ගලයන් දෙදෙනකු විසින් රුපියල් මිලියන 154ක බැංකු ණයක් ලබාගෙන තිබුණද, එවැනි මිලදී ගැනීමක් කිරීමට තරම් මූල්‍ය ශක්‍යතාවක් ඔවුන්ට නොතිබූ බව අල්ලස් කොමිසමේ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වාර්තා සඳහන් කරයි.

ඔවුන් අදාළ ණය මුදල ආපසු ගෙවීමට අපොහොසත් වූ විට, බැංකුව විසින් ඉඩම වෙන්දේසි කර ඇති අතර, පසුව සමාගමක් පිහිටුවාගෙන සිටි දේශපාලනික වශයෙන් සබඳතා ඇති පුද්ගලයකු විසින් එය මිලදී ගෙන ඇති බව විමර්ශකයෝ පවසති.

ආරම්භයේදී ඉඩම මිලදී ගත් පුද්ගලයන් දෙදෙනා විමර්ශකයන්ට පවසා ඇත්තේ තමන් ලේඛනවලට අත්සන් තැබීම පමණක් සිදුකළ බවයි.

පසුව, මෙම ඉඩම රුපියල් මිලියන 940කට වෙනත් සමාගමකට අලෙවි කර ඇති අතර, අදාළ ස්ථානයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර ඇත.

මෙම මහල් නිවාස සංකීර්ණයේ දැනට පදිංචිව සිටින පිරිසගේ ලැයිස්තුවක් අල්ලස් කොමිසම මගින් ලබාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර ඇත.