February 12, 2026

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ බව පවසමින් ව්‍යාජ ලෙස වංචනික ඊමේල් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම ඊමේල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර හෝ අවසර දී නොමැති බව එම දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර ඇත.

noucinatacha20@gmail.com සහ police.cid.lk@gmail.com යන ලිපිනවලින් යවන ලද ඊමේල් පණිවිඩ, මහජනතාව නොමඟ යැවීමට, මූල්‍ය වංචා කිරීමට හෝ නීති විරෝධී ලෙස පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට අදහස් කරන බවට විශ්වාස කෙරේ.

රැවටිලිකාර ඊමේල් යැවීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හෝ කණ්ඩායම් හඳුනාගැනීමට සහ සුදුසු නීතිමය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බව පොලිසිය පැවසීය.

ඉහත සඳහන් ලිපිනවලින් ලැබෙන පණිවිඩවලට ප්‍රතිචාර යැවීමේ දී ප්‍රවේශම් වන ලෙසත් පෞද්ගලික හෝ රහස්‍ය තොරතුරු බෙදා ගැනීමෙන් වළකින ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.