July 23, 2026

අවලංගු කරන ලද ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතියට අදාළව, 2024 වසරේදී වාරික තුනකින් ගෙවා නිමකරන ලද වන්දි මුදලට අමතරව එම ගෙවීම් ප්‍රමාද වීම වෙනුවෙන් පොලී මුදලක් ද ගෙවන ලෙස ජපානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රත්නායක සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය අවලංගු කිරීම හේතුවෙන් ජපන් පාර්ශවය වෙත 2024 අගෝස්තු 23 වන දින ජපන් යෙන් මිලියන 189.7ක් ද, 2024 අගෝස්තු 27 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 1.031ක් ද, සහ 2024 සැප්තැම්බර් 24 වන දින රුපියල් මිලියන 108.7ක් ද වශයෙන් වන්දි ගෙවීමට ශ්‍රී ලංකාව කටයුතු කළ බවයි.

කෙසේවෙතත්, අදාළ වන්දි මුදල් නිසි වේලාවට පියවීමට කටයුතු නොකළ බව පවසමින්, එම ප්‍රමාද වූ වන්දි ගෙවීම් සඳහා පොලියක් ලබාදෙන ලෙස ජපානය පසුව ඉල්ලා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මෙම ඉල්ලීම පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති අතර, මෙතෙක් එවැනි කිසිදු පොලී මුදලක් ගෙවා නොමැති බව ද ඔහු සඳහන් කළේය.

එල්.ආර්.ටී. ව්‍යාපෘතිය අවලංගු කිරීමට හේතු වූ පසුබිම පැහැදිලි කරමින් අමාත්‍ය රත්නායක කියාසිටියේ, 2020 සැප්තැම්බර් 24 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කළ බවයි.

2020 සැප්තැම්බර් 18 වන දින පැවැති සාකච්ඡාවලදී විදේශ වත්කම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද නිරීක්ෂණ පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර, මෙම ව්‍යාපෘතිය පිරිවැය-ඵලදායී එකක් නොවන බවට එහිදී නිගමනය කර තිබිණි.

එම නිරීක්ෂණ මත පදනම්ව, කොළඹ නාගරික ප්‍රවාහන අවශ්‍යතාවලට විසඳුම් සෙවීම සඳහා මෙම ව්‍යාපෘතිය අධික පිරිවැයක් සහිත එකක් බවත්, එය පිරිවැය-ඵලදායී නොවන බවත් පවසමින් ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා 2020 සැප්තැම්බර් 21 වන දින ලිපියක් මගින් නිර්දේශ කර තිබිණි.

කොළඹ මහනගර සභා ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් ජපන් ආධාර යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ එල්.ආර්.ටී. ව්‍යාපෘතිය 2020 වසරේදී නිල වශයෙන් අවලංගු කිරීමත් සමඟ, එහි ජපන් කොන්ත්‍රාත්කරුවන් සහ උපදේශකයින් විසින් වන්දි ඉල්ලා සිටින ලදී.

වන්දි ගෙවීම් ප්‍රමාද වීම වෙනුවෙන් නැවත පොලී ඉල්ලීම, මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීම නිසා මතුවූ තවත් විසඳී නොමැති මූල්‍ය අර්බුදයක් බවට පත්ව ඇත.