September 3, 2026

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ සිද්ධි­යට නඩු පව­රනු ලැබූ හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනා­ර­ත්නට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබේ.

අන­තු­රුව නඩුව, පූර්ව නඩු විභාග සම්ම­න්ත්‍ර­ණ­යට යොමු කළ මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් මිහා­යිල් විත්ති­ක­රුට රුපි­යල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළේය.

සැකකරුගේ විදේශ ගමන් බල­ප­ත්‍රය අධි­ක­ර­ණය භාර­යට ගැනී­මට නියම කළ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා ඇප­ක­රු­වන් ළඟම ඥාතීන් විය යුතු බවට ඇප කොන්දේ­සි­යක් පනවා තිබේ.

ඒ අනුව විත්ති­කාර හිටපු ඇමැ­ති­ව­ර­යාගේ පුත් චතුර සේනා­රත්න හා සොහො­යු­රාගේ පුත් ගයාන් භාෂණ යන අය ඇප තබා ඇත.

2012 ජූනි 12 වැනිදා සහ 2012 අගෝස්තු 06 වැනිදා අතර කාල­සී­මාව තුළ ධීවර ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කර­මින් සිටි­යදී, කිරින්ද ධීවර වරායේ වැලි ඉව­ත්කර වෙළෙ­ඳ­පො­ළට විකි­ණීමේ කාර්යය සඳහා ‘සී වූ කම්පැනි ලිමි­ටඩ්’ නමැති කොරි­යානු සමා­ගම තෝරා ගැනී­ම­ටත්, ඒ සඳහා ධීවර වරාය නීති­ගත සංස්ථා­වට අයත් ‘වැලි­ගොව්වා’ නමැති නෞකාව බදු පද­නම මත පවරා දීම­ටත් අදාළ සංස්ථාවේ සභා­ප­ති­ව­ර­යාට බල­පෑම් කළ බවට විත්ති­ක­රුට එරෙ­හිව චෝදනා එල්ල වී තිබෙනවා.

අල්ලස් පනතේ 70 වැනි වග­න්තිය යටතේ දූෂ­ණය වරද යටතේ විත්ති­කාර රාජිත සේනා­රත්නට එරෙ­හිව අධි චෝදනා පත්‍රය මගින් චෝදනා 05ක් ඉදි­රි­පත් කර ඇත.