July 18, 2026

දුම්රිය ප්‍රවාහනය හරහා සිදුවන කාබන් විමෝචනය අවම කර, ෆොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීමේ අරමුණින් ඉන්දියාව සිය ප්‍රථම හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය පසුගිය සිකුරාදා (ජූලි 17) දියත් කළේය. ලොව විශාලතම දුම්රිය ජාලයක් නවීකරණය කිරීමේ පුළුල් වැඩපිළිවෙලක කොටසක් ලෙස මෙය ක්‍රියාවට නැංවිණි.

මැදිරි 10 කින් සමන්විත මෙම දුම්රිය, උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ජින්ඩ් සහ සෝනිපට් අතර කිලෝමීටර් 89 ක මාර්ගයක ධාවනය වේ. එය කිලෝවොට් 1,200 ක හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ ප්‍රචාලන පද්ධතියකින් (Hydrogen fuel cell propulsion system) බල ගැන්වෙන අතර, නිලධාරීන් පවසන්නේ, මෙය දුම්රියක් සඳහා ලොව ඇති බලවත්ම පද්ධතිය බවයි. හයිඩ්‍රජන් දුම්රිය මඟින් විදුලිය නිපදවීම සඳහා හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ඒකාබද්ධ කරන බැවින්, පරිසරයට මුදාහැරෙන්නේ ජලය සහ වාෂ්ප පමණි.

මෙම සමාරම්භක ගමන සනිටුහන් කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මෙය ස්වයංපෝෂිත ඉන්දියාවක් සහ තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේ වැදගත් දවසක් බව ප්‍රකාශ කළේය. ඉන්ධන කෝෂ වැනි සමහර ප්‍රධාන කොටස් ආනයනය කර තිබුණද, මෙම දුම්රිය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදනයක් බව දුම්රිය අමාත්‍යාංශය පවසයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ක පිරිවැයක් දැරූ මෙම නියමු ව්‍යාපෘතිය, සාමාන්‍ය දුම්රිය සේවාවකට වඩා මිල අධික වුවද, තාක්ෂණයේ දියුණුව සමඟ පිරිවැය අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සමඟ ඉන්දියාව ජර්මනිය, ජපානය, චීනය සහ ඇමරිකාව වැනි හයිඩ්‍රජන් දුම්රිය පරීක්ෂා කරන රටවල් අතරට එක් වේ. මීට අමතරව, ඉන්දියාව මේ වන විට ජපන් ෂින්කන්සන් තාක්ෂණය භාවිතයෙන් සිය ප්‍රථම අධිවේගී බුලට් දුම්රිය මාර්ගයද ඉදිකරමින් සිටින අතර, එහි පළමු අදියර 2027 දී ආරම්භ කිරීමට නියමිතය.