May 29, 2026

ඉන්දීය නිරූපිකාවක සහ නිළියක වන ට්විෂා ෂර්මාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් ඇයගේ නැන්දම්මා වන විශ්‍රාමික විනිසුරු ගිරිබාලා සිං ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් බෝපාල්හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ට්විෂා ෂර්මා පසුගිය මැයි 12 වැනිදා ඇයගේ විවාහක නිවසේ ගෙල වැළලාගෙන මියගොස් සිටියදී හමුවූ අතර, ඇයගේ සැමියා වන සමර්ත් සිං ද මීට පෙර අධිකරණයට භාරවිය.

CBI නිලධාරීන් ගිරිබාලාගේ නිවසට පැමිණ පැය කිහිපයක ප්‍රශ්න කිරීමකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

විමර්ශන සඳහා අධි-තීව්‍රතා ත්‍රිමාණ (3D) කැමරා භාවිතයෙන් සිද්ධිය වූ ස්ථානයේ සවිස්තරාත්මක වෝහාරික පරීක්ෂණයක් ද පවත්වා තිබේ.

මධ්‍ය ප්‍රදේශ් මහාධිකරණය විසින් ගිරිබාලා සිංට මීට පෙර ලබා දී තිබූ පෙර ඇප අවලංගු කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

ට්විෂාගේ සිරුරේ මරණයට පෙර සිදු වූ තුවාල හතක් තිබීම, ගිරිබාලා විමර්ශනවලට සහාය නොදැක්වීම සහ මානසික හිංසනයන් පෙන්වන වට්ස්ඇප් පණිවුඩ මහාධිකරණයේ දැඩි අවධානයට ලක්ව ඇත.

CBI පළමු තොරතුරු වාර්තාවට අනුව, විවාහයෙන් පසු මනාලිය පිටත්කර හරින අවස්ථාවේදී ගිරිබාලා සිං විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 2 ක දෑවැද්දක් ඉල්ලා ඇති අතර ට්විෂාගේ පවුලේ අය එය ලබා දී තිබේ.

ට්විෂා සිය විවාහක නිවසේ දැඩි ලෙස අසරණව සහ මානසික පීඩනයෙන් පසු වූ බව ඇයගේ පාර්ශවයේ නීතිඥයෝ පවසති.

සයිබර් අපරාධ, වෝහාරික විද්‍යාව සහ අපරාධ ස්ථාන කළමනාකරණය පිළිබඳ පුහුණුව ලත් විශ්‍රාමික අධිකරණ නිලධාරිනියක වන ගිරිබාලා සිං, තම දැනුම භාවිත කර සාක්ෂි විනාශ කිරීමට හෝ විමර්ශනවලට බලපෑම් කිරීමට ඉඩ ඇති බවට ද අධිකරණයේදී කරුණු මතුවිය.

ඇයට එරෙහිව භාරතීය න්‍යාය සංහිතා යටතේ දෑවැදි මරණ, කාන්තාවන්ට සිදුකරන කෲරත්වය සහ පොදු චේතනාවක් මත ක්‍රියාකිරීම ඇතුළු බරපතල චෝදනා එල්ල වී ඇත.