July 4, 2026

අනුන්ගේ ජීවිත බේරන්න රෑ දවල් වෙහෙසෙන වෛද්‍යවරුන්ගේ ආයු කාලය, සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආයු කාලයට වඩා වසර 15 කින් පමණ අඩු බව ඉන්දියාවේ සිදුකළ අලුත්ම ජාතික සමීක්ෂණයකින් හෙළි වී තිබේ. වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ පෙන්වාදෙන්නේ මේ තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල සෞඛ්‍ය පද්ධතීන්ට ද තදින්ම බලපාන දැඩි අනතුරු ඇඟවීමක් බවයි. ඉන්දීය වෛද්‍ය සංගමය විසින් මාස 12ක් පුරා වෛද්‍යවරුන් 1,537 දෙනෙකු යොදාගනිමින් සිදුකළ මෙම අධ්‍යයනයෙන් කනගාටුදායක තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

සමීක්ෂණ දත්තවලට අනුව සාමාන්‍ය පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 73.6ක් ලෙස සටහන් වෙද්දී, වෛද්‍යවරයෙකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 58.1ක් වැනි කෙටි මට්ටමක පවතී. එනම්, ඔවුන් සාමාන්‍ය ජනතාවට වඩා වසර 15කට පෙර ජීවිතයෙන් සමුගන්නා බව පැහැදිලි වේ. වෛද්‍යවරුන් මුහුණ දෙන දැඩි වැඩ මුර සහ වගකීම් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපා ඇත. සමීක්ෂණයට ලක්වූ වෛද්‍යවරුන්ගෙන් සියයට 49.6ක්ම අධික වෘත්තීය පීඩනයකින් පෙළෙන අතර, සියයට 39.1ක් මධ්‍යස්ථ පීඩනයකින් පසුවේ. අඩු වෘත්තීය පීඩනයක් ඇත්තේ සියයට 11.3කට පමණි. තවද වෛද්‍යවරුන්ගෙන් සියයට 22.2ක්ම මානසික අවපීඩනයෙන් (Depression) පෙළෙන අතර, සියයට 23.3ක් කාංසාවෙන් (Anxiety) පීඩා විඳිති. වෛද්‍යවරුන් සියයට 2.8කගේ මනසට සියදිවි නසාගැනීමේ සිතිවිලි (Suicidal ideation) පවා පැමිණෙන බව අනාවරණය වී තිබේ.

අධික කාර්යබහුලත්වය සහ පීඩනය හේතුවෙන් වෛද්‍යවරු විශාල පිරිසක් විවිධ බෝ නොවන ලෙඩ රෝගවලට ගොදුරු වී සිටිති. ඒ අනුව වෛද්‍යවරුන්ගෙන් සියයට 32.1කට අධිරුධිර පීඩනය ද, සියයට 24.2කට අධික ආතතිය ද, සියයට 21.7කට දියවැඩියාව ද වැළඳී ඇත. මීට අමතරව සියයට 19.4කට අධික කොලෙස්ටරෝල් තත්ත්වය සහ සියයට 16.8කට ස්ථුලතාව පවතින බව හෙළි වී තිබේ. අනුන් සුවපත් කරන දොස්තරලාගේම සෞඛ්‍යය මෙලෙස පිරිහී යාම, සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම පැවැත්මට එල්ල වී ඇති බරපතළ තර්ජනයක් බැවින් මේ කෙරෙහි බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව වෛද්‍ය සුභසිංහ වැඩිදුරටත් අවධාරණය කරයි.

(උපුටාගැනීම – දිවයින)