March 8, 2025

මුහුදේ පෙරළී පාවෙමින් තිබූ ශ්‍රී ලාංකික බෝට්ටුවක් බේරාගෙන වෙරළට ගෙන ඒමට ඉන්දියාවේ පෙරියතලෙයි ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් කටයුතු කර තිබේ.

තූතුකුඩි දිස්ත්‍රික්කයේ පෙරියතලෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් ඊයේ සවස වෙරළට ආපසු යමින් සිටියදී, පෙරියතලෙයි වෙරළේ සිට නාවික සැතපුම් හතක් පමණ දුරින් උඩු යටිකුරු වී පාවෙමින් තිබූ ෆයිබර් බෝට්ටුව දැක තිබේ.

බෝට්ටුව ශ්‍රී ලංකාවේ සිට පැමිණි බව ඔවුන්ට පෙනීගොස් ඇත.

අවට ප්‍රදේශය සෝදිසි කළ නමුත් කිසිවකු සොයා ගැනීමට නොහැකි වූ බව ධීවරයන් ප්‍රකාශ කර තිබේ.

ඉන්පසු ඔවුන් බෝට්ටුව වෙරළට ඇදගෙන ගොස් ඇත.

මේ පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු, සමුද්‍ර පොලිසියට අනුයුක්ත පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂාවක් සිදු කර තිබේ.

ඔවුන්ගේ පරීක්ෂාවෙන් තහවුරු වූයේ බෝට්ටුව ශ්‍රී ලංකාවේ කල්පිටියේ සිට පැමිණි එකක් බවයි.

බෝට්ටුව සාගර ධාරා මගින් රැගෙන ගොස් තිබේද, මසුන් ඇල්ලීමේදී පෙරළී ගොස් තිබේද නැතහොත් වෙනත් අරමුණු සඳහා යමෙකු විසින් භාවිත කර තිබේද යන්න පිළිබඳ පොලිසිය විමර්ශනය කරයි.

එම බෝට්ටුව රේගු නිලධාරීන්ට භාර දෙන බව ද සමුද්‍ර පොලිසිය පවසා ඇත.