November 3, 2026

දකුණු කොරියාවේ බුසාන් හි පැවැති ඉන්දියා – දකුණු කොරියානු නාවික හමුදා ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සාර්ථකව එක්වීමෙන් අනතුරුව ඉන්දීය නාවික හමුදාවට අයත් ‘සහ්‍යාද්‍රි’ යුධ නෞකාව සිය මෙහෙයුම් කටයුතු නිමා කර තිබේ.

මෙමගින් දෙරට නාවික හමුදාවන් අතර සමුද්‍රීය සහයෝගිතාව ශක්තිමත් වූ අතර, ඒකාබද්ධ මෙහෙයුම් හැකියාවන්ද තවදුරටත් වර්ධනය විය.

ඉන්දීය රජය විසින් නිකුත් කරන ලද නිල නිවේදනයකට අනුව, මෙම අභ්‍යාසයේ වරාය ආශ්‍රිත අදියර අතරතුරදී ඉන්දීය සහ දකුණු කොරියානු නාවික හමුදා නිලධාරීන් අතර වෘත්තීය මට්ටමේ සාකච්ඡා, නෞකා නිරීක්ෂණ චාරිකා මෙහෙයුම් පිළිබඳ දැනුවත් කිරීම් සහ විෂය ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ අදහස් හුවමාරු කරගැනීම් රැසක් සිදු කෙරිණි.

මෙම අන්තර් ක්‍රියාකාරකම් මගින් මෙහෙයුම් සංකල්ප සහ විශිෂ්ටතම ක්‍රමවේදයන් හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසුණු අතර, සංස්කෘතික හා ක්‍රීඩා ඉසව් මගින් දෙරටේ නාවික හමුදා නිලධාරීන් අතර සබඳතා සහ මිත්‍රත්වය තවදුරටත් තහවුරු විය.

සාගරයේදී ඒකාබද්ධව කටයුතු කිරීමේ හැකියාව ප්‍රායෝගිකව පුහුණු වීමටත්, එකිනෙකාගේ මෙහෙයුම් ක්‍රියාපටිපාටීන් පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමටත්, ඒකාබද්ධ මෙහෙයුම් ශක්‍යතාව වැඩිදියුණු කරගැනීමටත් මෙම අභ්‍යාසය මගින් දෙරට නාවික හමුදාවන්ට මනා පිටිවහලක් ලැබිණි.

මෙම නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වීමෙන් පෙන්නුම් කරන්නේ, අඛණ්ඩ සබඳතා සහ සහයෝගිතාව තුළින් සමුද්‍රීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට ඉන්දියාව සහ දකුණු කොරියාව දක්වන කැපවීමයි.

මෙවැනි අන්තර් සබඳතාවන් මගින් අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු වන අතර, ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා වන පොදු ප්‍රයත්නයන්ටද විශාල දායකත්වයක් ලැබෙනු ඇත.