July 5, 2026

20%ක එතනෝල් මිශ්‍රිත පෙට්‍රල් භාවිතය අනිවාර්ය කිරීමට ඉන්දීය රජය ගත් තීරණයට එරෙහිව රට තුළ වර්ධනය වෙමින් පවතින මහජන විරෝධය පාලනය කිරීමට එරට රජය දැඩි උත්සාහයක නිරත වී සිටියි. මෙම නව ඉන්ධන භාවිතය හේතුවෙන් වාහනවල ධාවන කාර්යක්ෂමතාව සහ කාර්යසාධනය පහත වැටී ඇති බව පවසමින් පාරිභෝගිකයන් රජයේ ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත විරෝධතාවලට සූදානම් වෙමින් සිටින බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

ලොව තෙවැනි විශාලතම මෝටර් රථ වෙළඳපොළ හිමි ඉන්දියාව තුළ ‘E20’ ලෙස හැඳින්වෙන මෙම ඉන්ධන මිශ්‍රණය භාවිතය පසුගිය වසරේ සිට අනිවාර්ය කෙරිණි. කෙසේ වෙතත්, මේ වන විට එය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය සහ එරට රථවාහන පදවන්නන් අතර පවතින ප්‍රධානතම දේශපාලන ගැටුම්කාරී මාතෘකාවක් බවට පත්ව ඇත.

මෙම ආන්දෝලනාත්මක තත්ත්වය තවදුරටත් උත්සන්න වූයේ, E20 ඉන්ධන භාවිතය යනු තවමත් පවතින “අත්හදා බැලීමක්” බවත්, එහි ප්‍රතිඵල ලැබෙනුයේ ලබන වසරේදී බවත් ඉන්දීය නීතිපති ආර්. වෙන්කටරමණි අධිකරණ විභාගයකදී ප්‍රකාශ කිරීමත් සමඟය.

රජය විසින් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළද, නීතිපතිවරයා එම ප්‍රකාශය සිදු කරන අයුරු දැක්වෙන අධිකරණ සැසියක වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් සිකුරාදා රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් නීතිපති වෙන්කටරමණි කියා සිටියේ, තමන් “අත්හදා බැලීම” යන වචනය භාවිත කළේ සමස්ත එතනෝල් පෙට්‍රල් ප්‍රතිපත්තිය හැඳින්වීමට නොව, එතනෝල් සැපයුම් ප්‍රමාණයන් පිළිබඳව අදහස් දැක්වීමට පමණක් බවයි.

කෙසේ වෙතත්, නීතිපතිවරයාගේ මෙම පැහැදිලි කිරීමෙන් මහජන කෝපය පාලනය නොහැකි වී තිබේ. විපක්ෂය සහ ප්‍රතිපත්ති විරෝධීන් රජයට චෝදනා කරන්නේ කිසිදු පූර්ව සූදානමකින් තොරව මෙම ඉන්ධන ප්‍රතිපත්තිය රට තුළට බලහත්කාරයෙන් මුදාහැර ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති අංශය සිකුරාදා නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මෙම විවේචන සියල්ල පදනම් විරහිත ප්‍රකාශ වන බවයි. එමෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි “උසිගැන්වීම්වලට” හසු නොවන ලෙස ද රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.