July 6, 2026

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කෙරෙන හෝ ඒවාට ප්‍රවේශ වීමට පහසුකම් සලසන සියලුම ගෙවුම් දැන්වීම් සහ අන්තර්ගතයන් වහාම අත්හිටුවන ලෙස ඉන්දීය රජය එහි මව් සමාගම වන ‘මෙටා’ වෙත නියෝග කර තිබේ. ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මේ බව තහවුරු කළේය.

බී.බී.සී. (BBC Eye) සිදුකළ ගවේෂණාත්මක අනාවරණයකින් හෙළි වී තිබුණේ ඉන්දියාව තුළ ඉන්ස්ටග්‍රෑම් ගෙවුම් දැන්වීම් හරහා මෙවැනි ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය වෙමින් පවතින බවයි. මෙම අනාවරණයත් සමඟ ඉන්දීය රජය මෙම දැඩි පියවර ගෙන ඇත.

මෙටා සමාගම වෙත නිල නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය අවධාරණය කර ඇත්තේ, මෙවැනි අසභ්‍ය සහ අපයෝජන ද්‍රව්‍ය අඩංගු ගෙවුම් දැන්වීම් පළ කිරීමට සිය වේදිකාව තුළ ඉඩ ප්‍රස්ථාව ලැබුණේ කෙසේද යන්න පිළිබඳව සතියක් ඇතුළත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන ලෙසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, “ඉන්ස්ටග්‍රෑම් හි ගෙවුම් දැන්වීම් හරහා ළමා ලිංගික සූරාකෑමේ සහ අපයෝජන ද්‍රව්‍ය ප්‍රදර්ශනය වීම සම්බන්ධයෙන් රජය මෙටා සමාගම වෙත දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා,” යනුවෙනි. එමෙන්ම, එවැනි ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන හෝ ඒවාට ප්‍රවේශ වීමට මඟ පාදන සියලුම දැන්වීම් සහ අන්තර්ගතයන් වහාම අක්‍රීය කරන ලෙස ෆෙඩරල් අමාත්‍යාංශය නියෝග කළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

රජයේ මෙම නිවේදනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෙටා සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ඉල්ලා සිටීම හෝ හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් (දැන්වීම් ඇතුළුව) තම සමාගම සපුරාම දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. එමෙන්ම මෙවැනි දෑ හඳුනාගැනීමේ සහ මර්දනය කිරීමේ ආරක්ෂක පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.