September 21, 2026

ඉන්දියාව සහ නවසීලන්තය අතර පසුගිය අප්‍රේල් මාසයේදී අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුම ඔක්තෝබර් 20 වනදා සිට බලාත්මක වන බව ඉන්දීය වෙළඳ අමාත්‍ය පියුෂ් ගෝයාල් පවසයි.

දෙරටේම අනුමැතිය හිමිවූ මෙම ගිවිසුමට අදාළ ලේඛන හුවමාරුව නවසීලන්ත වෙළඳ අමාත්‍ය ටොඩ් මැක්ලේ සහ නවසීලන්තයේ ඉන්දීය මහකොමසාරිස් මුආන්පුයි සායාවි අතර පාර්ලිමේන්තුවේදී සිදුවිය.

ගිවිසුම හරහා නවසීලන්තයෙන් ඉන්දියාවට කෙරෙන අපනයනවලින් 95% කට පමණ පනවා ඇති තීරුබදු කපා හැරීමට හෝ සහන සැලසීමට පියවර ගෙන ඇත.

රුසියානු තෙල් ලබාගන්නා රටවලට 100% දක්වා තීරුබදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණයත් සමඟ, ඉන්දියාව ඇමෙරිකාව මත ඇති රැඳියාව අඩු කරමින් බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය වැනි රටවල් සමඟ වෙළඳ සබඳතා විවිධාංගීකරණය කිරීමට මෙලෙස කටයුතු කරයි.