June 23, 2026

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් යෝජිත ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබුණු සැනින් ඊට අදාළ පියවර ගැනීමට ඉන්දියාව සූදානමින් සිටින බව මෙම විෂය පිළිබඳව සමීපව කටයුතු කරන ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් අනාවරණය කරයි.

දෙරට අතර ගොඩබිම් සන්නිවේදනය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මාර්ග පද්ධතියකින් සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 30ක දිගින් යුත් පාලමක් ඉදිකිරීමට යෝජනා වී ඇති අතර, මේ වන විට එය මෙරට තුළ දැඩි කතාබහකට ද ලක්ව තිබේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් Daily Mirror පුවත්පත සඳහන් කරන්නේ, මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පාර්ශවයෙන් වන අතර, පසුව ඉන්දියාව ද එහි ඇති වැදගත්කම වටහාගෙන ඊට කැමැත්ත පළකර ඇති බවයි.

ශ්‍රී ලංකාව මේ සඳහා හරිත සංඥාව ලබාදුනහොත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව සූදානම්ය.

මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ද දෙරට අතර ගොඩබිම් සබඳතාවක් ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කර තිබිණි.

එහිදී ඔහු කියාසිටියේ මේ සම්බන්ධයෙන් පසුබට වෙමින් සිටින කාලය දැන් අවසන් වී ඇති බවයි.

කොළඹ සහ චෙන්නායි අතර මුහුදු දුර දළ වශයෙන් කිලෝමීටර් 300ක් පමණ වන නමුත්, දෙරටේ සමීපතම ස්ථාන වන රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර දුර කිලෝමීටර් 30ක් පමණක් බව ඔහු පෙන්වාදුන්නේය.

“එසේ වුවත්, තවමත් දෙරට අතර සෘජු මාර්ගයක්, දුම්රිය මාර්ගයක් හෝ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වන තොටුපළ සේවාවක් නැහැ. බලශක්ති පද්ධති සම්බන්ධතාවක් හෝ නල මාර්ගයක් නැහැ. ඇත්තම කිව්වොත් මෙය අසාමාන්‍ය තත්ත්වයක්. එය හරියට එකිනෙකට යාබදව පිහිටි කාමර දෙකක්, මැදින් දොරක් සාදා ගැනීමට හැකියාව තිබියදීත්, පිටතින් ඇති කොරිඩෝවක් හරහා පමණක් සම්බන්ධ කර තිබෙනවා වගේ වැඩක්.”

පෝක් සමුද්‍ර සන්ධිය හරහා පාලමක් හෝ උමගක් මඟින් ගොඩබිම් සබඳතාවක් ඇතිකිරීම පිළිබඳව දශක ගණනාවක සිට සාකච්ඡා වෙමින් පවතින බවත්, ලෝකය පුරා මෙවැනි කොරිඩෝ සඳහා ඕනෑතරම් උදාහරණ පවතින බවත් මහකොමසාරිස්වරයා පැවසීය.

මෙවැනි පාලම් ඉදිකර ඇති සෑම ස්ථානයකම ඉන් ලැබුණු ප්‍රතිලාභ පැහැදිලිව දැකගත හැකි බව පෙන්වාදුන් මහකොමසාරිස්වරයා, තවදුරටත් පසුබට නොවී මෙම ස්ථාවර සබඳතාව ගොඩනැඟුවහොත් එය සමස්ත කලාපයේම ආර්ථික භූගෝල විද්‍යාව වෙනස් කරනු ඇති බවත්, වරාය හෝ ගුවන් තොටුපළවල් සංවර්ධනය කිරීමෙන් පමණක් තනිවම ලබාගත නොහැකි සුවිශේෂී ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අපේක්ෂාව මේ හරහා සැබෑ කරගත හැකි වනු ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.