September 22, 2026

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වයක් ලබා ගැනීම සඳහා ඉන්දියාව ගෙන යන වැඩපිළිවෙලට පෝලන්තය, හංගේරියාව, ස්ලෝවැකියාව සහ චෙක් ජනරජය යන යුරෝපීය රටවල් හතරේ පූර්ණ සහය හිමිව තිබේ.

නියෝයෝර්ක් නුවර පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ස්ලෝවැකියානු විදේශ අමාත්‍ය යුරාජ් බ්ලානාර් ප්‍රකාශ කළේ, ගෝලීය දකුණේ ප්‍රබල පාර්ශවකරුවෙකු මෙන්ම ඉන්දු-පැසිෆික් කලාපයේ නැගී එන බලවතෙකු වන ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය හිමිවිය යුතු බවට වී4 එකමුතුවේ සියලුම රටවල් එකඟතාවයකට පැමිණි බවයි.”

ස්ලෝවැකියාවේ සභාපතිත්වය යටතේ 81 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වුණු මෙම හමුව, වී4 කලාපීය එකමුතුව සහ ඉන්දියාව අතර විදේශ අමාත්‍ය මට්ටමින් පැවැති ප්‍රථම ඉහළ පෙළේ සාකච්ඡාව ලෙස ඉතිහාසයට එක්වේ.

මෙහිදී ඉන්දියාව සහ වී4 කලාපීය එකමුතුව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ මාර්ග පිළිබඳව අමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.

විශේෂයෙන්ම වෙළඳ හා ආයෝජන, තාක්ෂණය සහ නවෝත්පාදනය, ශක්තිමත් සැපයුම් දාම පවත්වාගෙන යාම, ආරක්ෂක අංශ, සන්නිවේදනය හා සබඳතා, අධ්‍යාපනය මෙන්ම ජනතාව අතර සබඳතා වර්ධනය කරගැනීම යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.